දිවයින පුරා රජයේ රෝහල්වල නේවාසික සහ සායනික දියවැඩියා රෝගීන් සඳහා අවශ්‍ය ‘ඉන්සියුලින්’
එන්නත් නොමැති බව වාර්තා වෙයි.

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඊ‍යේ (18 වැනිදා) පෙරවරුවේ පැවැති දියවැඩියා සායනවලට පැමිණි රෝගීන්ට වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ ඉන්සියුලින් එන්නත් නොමැති බවයි. ‘ඉන්සියුලින්’ හිඟයක් පවතින බවත් අවශය තොග කොළඹ වරායට ළඟා වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. කඩිනමින් දිවයින පුරා රෝහල්වලට ‘ඉන්සියුලින්’ බෙදා හැරීමට කටයුතු කරන බවද වෛද්‍ය සැපයුම් අංශය සඳහන් කරයි.

දිවයින පුරා ‘ඔසුසල’ වල අවශ්‍ය තරම් ඉන්සියුලින් එන්නත් ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක ප්‍රකාශ කළේය.

පෞද්ගලික ෆාමසිවල ‘ඉන්සියුලින්’ එන්නතක් රුපියල් 680 සිට 2500 දක්වා අලෙවි වෙයි.

උදයජීව ඒකනායක