බස්නාහිර පළාතේ ඝන අපද්‍රව්‍ය යොදා ගනිමින් මෙගාවොට් 10ක විදුලිබලය නිපදවීමේ කටයුතු එළඹෙන මැයි මාසයේ සිට ආරම්භ කිරීමට කෙරවළපිටිය නාගරික ඝන අපද්‍රව්‍ය ආශ්‍රිතව විදුලි ජනනය කිරීමේ ව්‍යාපෘතිය තීරණය කර තිබේ.
මෙම ව්‍යාපෘතිය මඟින් නිපදවන විදුලි බලය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති අතර, ඒ හරහා කොළඹ කැළි කසළ ප්‍රශ්නයට තිරසර විසඳුමක් ලබාදීම අපේක්ෂා කෙරේ.

කොළඹ නගර සීමාව තුළ පමණක් මේ වනවිට දිනකට කසළ ටොන් 550-600ත් අතර ප්‍රමාණයක් එකතු වන අතර, කොළඹ නගර සභා බලප්‍රදේශයේ ඝන අපද්‍රව්‍ය ලබාගැනීම සඳහා කොළඹ නගර සභාව හා පළාත් නාගරික අධිකාරිය සමඟ අදාළ ව්‍යාපෘතිය ගිවිසුම්ගතව තිබිණි.

කෙසේවුවද මෙම බලාගාරය මඟින් විදුලිය නිපදවීම සඳහා දිනකට කසළ ටොන් 1,000ක් අවශ්‍ය වේ. ඒ අනුව කොළඹ නගර සීමාවේ කැළි කසළ ප්‍රමාණවත් නොවන හෙයින් ගම්පහ හා මොරටුව නාගරික බලප්‍රදේශවලින් කැළි කසළ තවත් ටොන් 400ක් ලබා ගැනීමට නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය හා අනෙකුත් ආයතන සමඟ ගිවිසුම්ගත වීමටද නියමිතය.

- නිදර්ශනී වික්‍රමසිංහ -