දැනට පවතින ඛණිජ තෙල් මිල ගණන් වෙනස් නොකොට වසරක කාලයක් සඳහා එම මිල ගණන් ස්ථාවරව පවත්වාගෙන යෑමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.


කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවති මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය.

මෙයට අමතරව තෙල් මිල ස්ථායීකරන අරමුදලක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (18) තීරණය කළ බවද බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීමෙන් ලැබෙන වාසිය මෙම අරමුදලට එක් කරන බවත් තෙල් මිල ඉහළ ගිය විට සිදුවන අලාභය එම අරමුදලෙන් පියවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ද ඒ මහතා සදහන් කළේය.

ඛණිජ තෙල් ස්ථායීකරණ අරමුදල මගින් පාඩු ලබන රජයේ සංස්ථා මණ්ඩල ආදියේ පාඩු පියවා ගැනීම සඳහා මුදල් ලබාදෙනු ඇති බවද බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් පැවසීය.

රජය මෙම තීරණය ගනු ලැබුවේ සර්ව ආර්ථිකය දැක්මක් ඇතිව කළමණාකරණය කිරීම සඳහා බවත්, මේ මගින් ඛණිජ තෙල් පාරිභෝගිකයාට පමණක් නොව සාමාන්‍ය ජනතාවටත් වාසියක් සැලසෙන බවත්, ඒ මහතා කීය.

මේ වන විට ලෝක වෙළඳපොළේ ඛණිජ තෙල් මිල පහත වැටීම නිසා ඉන්දීය තෙල් සමාගම විශාල ලාභයක් ලබනවා නොවේදැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා එම සමාගම ලබන ලාභය සඳහා විශේෂ බද්දක් පැනවීමට යන බව පැවසීය.