කොරෝනා වෛරසය ආසාදනය වූ මුල්ම ශ්‍රී ලාංකික කාන්තාව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන්නේ යැයි ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහන් කරයි. ඇය මේවන විට ඉතාලියේ බ්‍රේෂා නගරයේ  රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඇයගේ සෞඛ්‍යය තත්වය
නිරන්තරයෙන්ම එරට බලධාරීන් විසින් සොයා බලන්නේ යැයි ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් සිසිර සෙනවිරත්න මහතා කියා සිටී. මෙම කාන්තාවට සෞඛ්‍ය පහසුකම් ලබා දීම එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත සිදු කෙරෙමින් පවතින බවත් , ඇයගේ තත්වය  බරපතළ නොවන බව ද ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය දැනුම් දුන් බව ද හෙතෙම කීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සිසිර සෙනවිරත්න මහතා මෙසේද කීය .


“ඇයගේ තත්වය 04 වැනිදා වනවිට පැවති තත්වයටත් වඩා සුව අතට පැවතියා. ඇයට අවශය සියලු සෞඛ්‍ය පහසුකම් අදාළ රෝහල විසින් සම්පාදනය කර තිබෙනවා. අපිට 02 වැනිදා තමයි ඇය ගැන දැනගන්නට ලැබුණේ. ඒ  තොරතුරු දැනගන්නට ලැබීමත් සමගම අදාළ රෝහල සමඟ ඇය පිළිබඳ තානාපති කාර්යාලය සකච්ඡා කළා. ඇයට වෙනම කාමරයක් ලබා දීමට මේ වන විට කටයුතු කරලා. රෝහලින් ප්‍රකාශ කරන ආකාරයට ඇයගේ තත්වය ස්ථාවරයි. ඇයට ආහාර ලබා දුන්නේ නැහැ කියලා ඇතැම් වාර්තා පළ වෙළා තිබුණා. අපි ඒ ගැන විමසීම් කළා. රෝහලින් අපිට පැවසුවේ ඇයට සිදු කළ පරික්ෂණ කිහිපයක් නිසා ආහාර ලබා දීමක් සිදු නොකළ බවයි. ඉන් අනතුරුව ඇයට ආහාර ලබා දීමට එරට රෝහල් බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඇයට අවශ්‍යයි අනෙක් පහසුකම් සියල්ලක්ම අඩුවක් නැතිවම ඉතාලි සෞඛ්‍ය අංශ විසින් ලබා දෙනවා " යැයි ද  පැවසීය.


මෙලෙස එම වෛරසයට ආසාදනය වී ඇත්තේ උතුරු ඉතාලියේ බ්‍රේෂා (Brascia) ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක් යැයි ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලය සඳහන් කරයි. 46 හැවිරිදි වියේ පසු වන ඇය හොරණ ප්‍රදේශයේ පදිංචිකාරියකි. වසර 10ක පමණ කාලයක සිට සිය සැමියාත් සමඟ එරට පදිංචිව සිටින ඇය ඉතාලියේ බ්‍රේෂා ප්‍රදේශයේ කොරෝනා ආසාදිත වයෝවෘද්ධ  ඉතාලි ජාතික කාන්තාවක රැක බලා ගැනීමට ගිය අවස්ථාවේ දී මෙලෙස රෝගය ආසාදනය වී ඇතැයි ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.  මේ වන විට කොරෝනා වෙරසය හේතුවෙන්  චීනයෙන් පිටත වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියට වන අතර එරට එම වෛරස්  ආසාදිතයන් ගණන 3858 ක් දක්වා ඉක්ම ඇත. පුද්ගලයින් 149 එම වෛරසය ආසාදන වීමෙන් මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.