මෙරට කොරෝනා ආසාධිත වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා කොළඹ ජාතික උණ රෝහලෙන් වාර්තා වන බව අද (11) උදෑසන සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර තිබේ. මෙම පුද්ගලයා විදේශිකයන්ට මගපෙන්වීම් සිදුකරන සංචාරක මාර්ගෝපදේශකයෙකු ලෙස
කටයුතු කර ඇති බවද ඔහුට විදේශයක සිට පැමිණි අයෙකු හරහා මෙම රෝගය ආසාදනය වන්නට ඇති බවද පැවසේ.විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සදහන් කළේ ඔහු මේ වන විට අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
ඔහු මීට දින දෙකකට පෙර උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් අයි.ඞී.එච්. රෝහලට ඇතුළත්ව ඇති බවයි විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ. මැදිවියේ පසුවන මෙම පුද්ගලයා ඉතාලි ජාතිකයින් පිරිසක් සමඟ ගමන් කරමින් සිට ඇති බව ද පැවසිණි. ඔහු ගැන ඊට වැඩි විස්තර ප්‍රසිද්ධ කර නැත.
ඊයේ (10) එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ  කොරෝනා වැළදුන තවත් ලාංකික දෙදෙනෙක් හමුවූ අතර ඊට පෙර ඉතාලියේ කොරෝනා වැළඳුන ලාංකික කාන්තාවක හමුවිය.
එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඊයේ හඳුනාගත් කොරෝනා වෛරසය ආසාධිත (COVID-19) රෝගීන් 15 දෙනෙකු අතරින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සිටින බව රජයේ වාර්තා උපුටා දක්වන ගල්ෆ් නිවුස් පුවත් සේවය වාර්තා කර තිබේ.
 එම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාද ඇතුලුව ආසාදිත බවට හදුනාගත් තවත් විදෙස් ජාතිකයින් 15දෙනෙක් මේ වන විට නිරෝධානය වැඩපිළිවෙලක් සඳහා යොමුකර ඇති බවද එම වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකාවට අමතරව ඉතාලි ජාතිකයින් තිදෙනෙකු, එමීර් දෙදෙනෙකු, ඉන්දියානු දෙදෙනෙකු, බ්‍රිතාන්‍ය දෙදෙනෙකු ඉරාන එක් අයෙකු ජර්මනියේ එක් අයෙකු ටැන්සානියාවේ එක් අයෙකු සහ දකුණු අප්‍රිකාවේ එක් අයෙකු වශයෙන් මෙම 15 දෙනා හඳුනාගෙන ඇති බවද වාර්තා කර තිබේ.
කොරෝනා තත්වය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාසල් වසා දමා ඇති අතර  සෞඛ්‍ය පිළිවෙත් දැනුවත් කිරීම හා නිරෝධායන වැඩ සටහන සඳහා රජයේ පූර්ණ සහය ලැබී ඇති බවද වාර්තා කර තිබේ.
ආසාදිත ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ගැන විස්තර ප්‍රසිද්ධ කර නැත.