මීගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වයිරස් ආසාදිතයෙකු ඊයේ දවල් හදුනාගැනීමෙන් පැය කිහිපයකට පසු සවස ඔහු රෝහලේදී මියයාමේ සංසිද්ධිය මේ වනවිට විවිධ පරස්පර
ආරංචි වලින් විස්තර වේ.
මියගොස් ඇත්තේ කොච්චිකඩේ පෝරතොට ආබ්දීන් මාවතේ පදිංචි මොහොමඩ් ජමාල්ඩීන් නමැති 65 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ඇස් කණ්ණාඩි මෙරටට ගෙන්වා අලෙවි කරන වෙළෙන්දෙකි.
ඔහුගේ විදෙස්ගතව සිට ලංකාවට පැමිණ ගිය පුත්‍රයෙකු නිසා

මෙම රෝගය බෝවන්නට ඇති බවට මුලින් විස්තර වූවද ඔහු විදේශගතවූවෙකුට නිරාවරණය වීම තවමත් ප්‍රහේලිකාවක් වී තිබේ.මෙම පුද්ගලයාගේ ඥාතීන් යාපනයේ වාසය කරන අතර රෝගය වැළ‍ෙදන්නට පෙර ඔහු යාපනයේ සංචාරය කර ඇති බව පමණක් හෙළිව ඇත. එක් වාර්තාවකින් කියැවුනේ ඔහුගේ ඥාති පුත්‍රයෙකු විදේශයක සිට මීගමුවේ නිවසට පැමිණ ගිය බවකි. තවත් වාර්තාවකින් කියැවුනේ ඔහු යාපනයේ කළ සංචාරයේදී ඉන්දියාවේ සිට ලංකාවට මෑතක පැමිණි ඥාති පුතුන් දෙදෙනෙකු හා සමීප වූ බවකි. ඔහුගේ ජර්මනියේ සිට ආ ඥාති පුතෙකු ගැන මෙන්ම ඩුබායිහි සිට ආ ඥාති පුතෙකු ගැනද විස්තර පළව තිබේ.

මේ වනවිට ඔහුගේ නිවසේ 13 දෙනෙකුගේ පිරිසක් නිරෝධායනය කර තිබේ.

දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටියදී පස්වරුවේ ඔහු මියගිය පසුව පැය 6 ක් වැනි කෙටි කාලයකින් අවසන් කටයුතු සිදු කළේ මීගමුව රෝහලට කිට්ටු කොච්චිකඩේ මයියොක්කාහේන පොදු සුසාන භූමියේදීය.
මුස්ලිම් ආගමික චාරිත්‍ර අනුව ඔහුව භූමිදානය කිරීමට පවුලේ අය ඉල්ලා තිබුණද එයට ඉඩක් ලබාදීමට අපහසු බව බලධාරීන් දන්වා ඇත. මෙම සුසාන භූමියට යාබද අභ්‍යන්තර ජල මාර්ගයක් පැවතීම නිසා කලෙක සිට භූමිදාන කටයුතු නවතා ඇති බවත් ආදාහනය පමණක්  සිදුවන බවත් දන්වා තිබුණි.
කෙසේ හෝ රාත්‍රී 12 ට පමණ ආදාහනය සිදුකරන අවස්ථාවට පවුලේ අය කිසිවක් සහභාගී වූයේ නැත.
මින් ඉහත වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොරෝනා රෝගීන්ගේ අවසන් කටයුතු පිළිබඳ දන්වා තිබුනේ මෙසේය.
'මෘත දේහය පිච්චීම තමයි අපි නිර්දේශ කරන්නෙ. ඒ වගේම අඩි 08 ක් වැනි යටකට භූමිදානය කිරීමටත් අපිට අවසර ලබා දෙන්න පුළුවන්.'

කෙසේ වෙතත් ප්‍රායෝගික හේතු මත භූමිදානය සිදුකරන්නට බැරිව ගොස් තිබුණි.
මෙම පුද්ගලයාගේ සහ ඥාතීන්ගේ අපරීක්ෂාකාරී ක්‍රියා කලාපය මත මේ වනවිට රෝහල් ඇතුළු ස්ථාන ගණනාවක් නිරෝධායනයට ලක් කර ඇත.ඔහු නිසා වෛරස සම්ප්‍රේෂණය වූ අය පිළිබද පරීක්ෂණ කටයුතු තවම සිදුවේ.