කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබවට සැක රෝගීන්ට ප්‍රතිකාර කරන හෝමාගම මූලික රෝහලට කොරෝනා ලක්ෂණ පහළවී පරීක්ෂණයට ගෙනා සැකසහිත රෝගියකු රෝහලෙන් පැන යාමට උත්සහ දැරීමේ සිදුවීමක් වාර්තාවේ.
 මහනුවර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු පානදුර ඥාතී නිවසක වාසය කරමින් සිටියදී කොරෝනා ලක්ෂණ පහළවීමෙන් පසු පානදුර රෝහලට ඇතුළත් කර
පානදුර රෝහලේ සිට හෝමාගම රෝහල වෙත මාරුකර එවා තිබූ අවස්ථාවක මෙම සිදුවීම වාර්තා විය.
මොහු මත්පැන් භාවිතයට ඇබ්බැහිවූ අයෙකු වන අතර
ඇඳිරි නීති තත්වය නිසා දින ගණනාවකින් මත්පැන් පොදක් නැතිව විස්සෝපයෙන් පසුවී ඇත.
මේ අතරවාරයේ කැස්ස හා උණ ගතිය මතුවූ නිසා ඔහුට කොරෝනා වෛරසය ගැන සැකයක් පහළවී වෛද්‍ය උපදෙස් පතා පානදුර රෝහලට ඇතුළත්වී ඇත. කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන්ගේ කීම් බහට මුලදී එකගවී ඇති මෙම පුද්ගලයා වෛද්‍ය නිර්දේශ අනුව කොරෝනා පරීක්ෂාව පිණිස හෝමාගම මූලික රෝහල වෙත කැමැත්තෙන්ම ගොස් ඇත.

එහිදී අදාළ රෝගියාට කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි සොයාබැලීම සඳහා පරීක්ෂණ කටයුතු සිදුකරත් පසුව තහවුරු වී ඇත්තේ එම වෛරසය අසාදනය වී නොමැති බවයි.
පරීක්ෂණයෙන් සෘණාත්මක ප්‍රතිඵලයක් ලැබූවත් එක්වරම රෝහලෙන් නිදහස් කරන සිරිතක් නොමැති අතර ඔහුගේ රෝග ලක්ෂණ වල වෙනසක් නොවූ නිසා වෛද්‍යවරුන් නිරෝදායනය හොඳින් සිදු කළ යුතු බව දන්වා ඇත. එය ඔහුට කීවාට හරිහැටි කරාවිදැයි සැක නිසා ඔහුව බලාගන්නා වගකිව යුතු අයෙකුට ඒ ගැන උපදෙස් දීමට අවශ්‍ය බව දන්වා ඔහුව නතර කරගෙන තිබේ.
තමාට ඉක්මණින් 'ටිකට් කපාගෙන'
තනිව රෝහලින් පිටවිය හැකි බවට ඔහු ඇවටිලි කළද බලධාරීන් එකගවී නැත. ඔහුට ඉදිරි දිනවල නිරෝධායනයෙන් සිටීම ගැන උපදෙස් සහිතව භාරකාරයෙකුට භාරදීමට වෛද්‍යවරුන් අදහස් කර තිබේ.

ඔහු රෝහලෙන් නිදහස් කිරීම සඳහා භාරකරුවෙකු පැමිණෙනතුරු රඳවාගෙන ඇති අතර ඔහු පැනයාමට තැත් දරා තිබේ. ඊයේ (27)මෙම රෝගියා රෝහලේ ගොඩනැගිල්ලක සැඟවීමට උත්සාහ ගෙන ඇත. මේ හේතුවෙන් රෝහල් බලධාරීන්ට සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ඔහු මෙල්ලකර ගැනීමට පොලිසියේ ද සහය ගැනීමට සිදුවිය.
අධික බීමතට ඇබ්බැහිවී සිට දින ගණනාවකින් මත්පැන් නොලැබීම නිසා ඔහුට කොරෝනාවට හා සමාන මෙම අසාත්මික ලක්ෂණ පහළවී ඇති අතර ඔහු රෝහලින් පැනගොස් කොහෙන් හෝ මත්පැන් පොදක් තොලගෑමේ උවමනාවකින් පසුවී ඇත.

ඔහු  රෝහලේ වෙනත් තැනක සැඟවී සිට කවුරුවත් නැති අවස්ථාවක් බලා පැන යාමට සූදානමින් සිටි බව පෙනී ගොස් තිබෙන අතර අවසානයේ මෙම රෝගියා රෝහල් බලධාරීන් සහ පොලිසියේ මැදිහත්වීමෙන් නැවත පානදුර රෝහල වෙත යැවූ බව වාර්තා වේ.