කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා තම රජය ගත් ක්‍රියාමාර්ග ලෝකයේ සෙසු රටවල් අනුගමනය කළහොත් ජුනි මාසය වනවිට වෛරසය අවසන් වනු ඇතැයි චීනය ප්‍රකාශ කරයි.
ලොව රටවල් 120 කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙන නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා 126,000කුට ආසාදනය වී තිබෙන අතර වෛරසය හේතුවෙන් 4624 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ වසර මැද වනවිට මේ අර්බුදය අවසන් වනු ඇතැයි චීන රජයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශකවරයා වන ෂොන්ග් නන්ෂාන්ග්  පැවැසීය. වසංගත රෝග විශේෂඥයකු වන ඔහු 83 වියේ පසුවෙයි. හෙතෙම 2003 වසරේ ව්‍යාප්ත වූ "සාස්" වෛරසය මර්දනය කිරීමේ සටනේ දී මූලික කාර්යභාර්යයක් කළ පුද්ගලයා ලෙස සැලකේ.

“ඔක්කොම රටවල් එකතු වුනොත් ජුනි මාසය වෙද්දී වෛරසය අවසන් වේවි. එහෙත් රටවල් ආසාදිතයන්ට හොඳින් ප්‍රතිකාර නොකළහොත්, දැඩි ක්‍රියාමාර්ග නොගත්තේ නම් පාලනය කරන්න බැරි වේවි. ඇතැම් රටවල් තවමත් එතරම් සැලකිල්ලක් දක්වා නැහැ. මෙය බරපතළ කාරණයක් ලෙස ගෙන තදින් මැදිහත් වුණේ නැතිනම් වෛරසය දීර්ඝ කාලයක් පවතීවි" යැයි ද ඔහු කීවේය.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය පනවා ඇති දැඩි සංචාරක සහ ගුවන් ගමන් සීමා චීනයේ ද විරෝධයට හේතුවිය. චීනය ලෝකය එකට එකතු කරමින් කාලයත් සමග දැඩි සටනක් කරමින්  සිටින මොහොතක ඇමෙරිකා එක්සත් ජනපදයේ වගකීම් විරහිත ප්‍රකාශ සහ ක‍්‍රියාමාර්ග වෛරසයට එරෙහි සටනට කිසිඳු සහයෝගයක් දක්වන්නේ නැතැයි ද චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙරේදා (11) නව කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.