කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 45කට ගුවන් ගමන් සහ සංචාරක තහනමක් පැනවීමට සෞදි අරාබිය පියවර ගෙන ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය ඊයේ (2) වාර්තා කළේය.
යුරෝපා සංගමයේ සියලු රටවල් ස්විට්සර්ලන්තය, ඉන්දියාව, පාකිස්තානය, පිලිපීනය, සුඩානය,
ඉතියෝපියාව, දකුණු සුඩානය, එරිත්‍රියාව, ජිබුටි සහ සෝමාලියාව සංචාරක හා ගුවන් ගමන් සීමා පැන වූ රටවල් ගොන්නට ඇතුළත් ය. එරට රාජ්‍ය මාධ්‍යවලට අනුව සෞදි අරාබියෙන් නව කොරෝනා ආසාදිතයන් 24 දෙනකු වාර්තා වී ඇති අතර ඒ අනුව එරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් ඇත.

විදෙස් ගතව සිටින සෞදි පුරවැසියන්ට සහ එරට වාසය කරන්නන්ට නැවත එරටට පැමිණීම සඳහා පැය 72ක කාලයක් ලබා දී ඇතැයි සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් රාජ්‍ය පුවත් සේවය වන 'සෞදි පුවත් සේවය' වාර්තා කළේය. ජෝර්දානය හරහා ගොඩබිම් මාර්ගවලින් මගීන් ඇතුළු කරගැනීම තාකාලිකව අත්හිටුවීමට ද සෞදි අරාබිය පියවර ගෙන ඇත. එසේ වුවත් වාණිජ සහ බඩු භාණ්ඩවලට රට තුළට ගෙන ඒමට අවසර දී ඇත. අසල්වැසි අරාබි රටවල් ඇතුළු රටවල් 19කට සෞදි අරාබිය මීට පෙර සංචාරක සහ ගුවන් ගමන් තහනම් පැනවීය.

රටට ඇතුළු වීමේ දී සෞඛ්‍ය තොරතුරු සහ සංචාරක තොරතුරු ඉදිරීපත් නොකරන පුද්ගලයන්ට රියාල් 500,000 (ඇමෙරිකානු ඩොලර් 133,000) ක දඩයක් පැනවීමට සෞදි බලධාරීහු පියවර ගෙන ඇත. ලොව විශාලතම බොරතෙල් නිෂ්පාදකයකු වන සෞදි අරාබිය එරට තෙල් නිෂ්පාදනය කරන කටිෆ් ප්‍රදේශය වසා දැමීමට පියවර ගෙන ඇති අතර බොහෝ ආසාදිතයන් වාර්තා වී ඇත්තේ එම ප්‍රදේශයෙන් යැයි ද වාර්තා වේ. ඉස්ලාම් බැතිමතුගේ ශුද්ධ වූ ස්ථාන ලෙස සැලකෙන මක්කම සහ මදීනාව වසා දැමීමට ද සෞදි අරාබිය මීට පෙර පියවර ගත්තේය.

සෞදි අරාබිය එරට පාසල්, විශ්වවිද්‍යාල, සිනමා ශාලා වසා දැමීමට ද පියවර ගෙන ඇත. ඊට අමතරව සියලු සම්මන්ත්‍රණ, ක්‍රීඩා ඉසවු සහ උත්සව මෙන්ම ලබන සතියේ දී පැවැත්වීමට නියමිතව තිබූ ජී20 අමාත්‍ය  හමුව කල්දැමීමට ද සෞදි බලධාරිහු ඊයේ පියවර ගත්හ. විවිධ රටවලින් මිලියන ගණනක් සංක්‍රමණිකයෝ සෞදි අරාබියේ විවිධ රැකියාවල නිරත වෙති. රට තුළ සිටින පිලිපීන සහ ඉන්දියානු සෞඛ්‍ය සේවකයන්ට ඉහත තීරණ අදාළ නොවන බව ද සෞදි සෞඛ්‍ය බලධාරීහු තවදුරටත් සඳහන් කළහ.

-හර්ෂණ තුෂාර සිල්වා-