ඩුබායි රටේ දින 2 ක් ගත කර පසුගිය 19 වෙනිදා මෙරටට පැමිණි පුද්ගලයෙකු දින 6 ක කාලයක් තිස්සේ කළුතර බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ සැරි සරා පුද්ගලයන් රැසක් ඇසුරු කර තිබූ අතර ඔහු ඇතුළු
 පුද්ගලයින් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ධනාත්මක බව
දැන් හඳුනාගෙන ඇත.
වයිරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින්  අටුළුගම ග‍්‍රාමය ඊයේ (2) පස්වරුවේ සිට සීල්තබා සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය.
වයිරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද  එම  රෝග ලක්ෂණ  පෙන්වීම හේතුවෙන් අද (28) පෙරවරුවේ 1990 සුවසැරිය ගිලන් රථයෙන් කලුතර නාගොඩ මහ රෝහල හරහා පිටත් කල බව බණ්ඩාරගම  සෞ‍බ‍්‍ය වෛද‍්‍ය කාර්යාලය මේ අතර ප්‍රකාශ කර තිබේ.
මෙම ගමේ සිට ඩුබායි ගිය ඔහු ගැමියන් අතර ප්‍රකට අයෙකු බවත් නිරන්තරයෙන් එක්වී කතා කරන්නෙකු බවත් හඳුනාගෙන තිබේ. ඔහුට එතෙරදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ඔහු ඒ බව නොදැන ගමේ නිවෙස් බොහොමයකට ගොස් ආගිය කතා කථාකරමින් සිට ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
ඒ අනුව අටළුගම නිවාස 26 ට අයත් පුද්ගලයන් 200 දෙනකු පමණ සම්පුර්ණයෙන්ම ස්වයං නිරෝධායනයකට ලක්කර තිබේ. කිසිවකුට ගමෙන් පිටවීමට හෝ ගමට ඇතුලූ වීමට හෝ අවසර නොදෙන බව ආරක්ෂක අංශ කියයි.

පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාවේ නිලධාරීන් යොදවා සීල් තැබූ ගමේ ඇඳීරිනීතිය දැඩිව ක්‍රියාත්මක කර ඇති බවද පොලිසිය පැවසීය.