කොරෝනා වයිරසය ව්‍යාප්ත වනු ඇති බවට අනිසි බියක් පළ කරමින් මත්කුඩු සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ සහ එම ජාවාරමේ නිරතවීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් පිරිසක් අනුරාධපුර බන්ධනාගාරයෙන් පලායෑමට කලහකාරී ලෙස හැසිරෙමින් සිදු කළ නොසන්සුන්තාවක් හේතු කොට ගෙන
එම බන්ධනාගාරය එකම යුද පිටියක් බවට පත් විය.

පොලිසිය විසින් පනවා තිබූ ඇඳිරි නීතිය හමුවේ ඉකුත් 21 වැනිදා සවස රැඳවියන් පිරිසක් සිදුකළ කලහකාරී තත්ත්වයක් පාලනය කිරීමට යෑමේදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරියකු තැබූ වෙඩි ප්‍රහාරයකින් රැඳවියන් දෙදෙනකු මියගොස් හයදෙනකු තුවාල ලැබූහ.

එම අවස්ථාවේ රැඳවියන් විසින් එල්ල කළ ගල් ප්‍රහාරවලින් තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරුන්
දෙදෙනකුද ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

කොරෝනා වයිරසය රට පුරා ව්‍යාප්තවීම හේතු කොට ගෙන ඥාතීන්ට රැඳවියන් බැලීමට අවස්ථාව ලබා නොදීම, ඒ හේතු කොට ගෙන රැඳවියන් හට මත්කුඩු ලැබීමේ මාර්ග ඇනහිටීම සහ බන්ධනාගාරය තුළ රැඳවියන් රඳවා සිටින වාට්ටුවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම යන හේතූන් මත රැඳවියන් මෙම නොසන්සුන්තාවය විසින් මෙම කලහකාරී තත්ත්වය සිදු කර තිබිණි.

සිද්ධිය වන අවස්ථාවේ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් එක්දහස් පනස් දෙනකු පමණ නේවාසිකව සිට ඇත. එදින සවස 4.30ට පමණ එහි තුළ එළිමහනේ සිටි සියලු රැඳවියන් ඔවුන් නේවාසිකව සිටින වාට්ටුවලට ඇතුළත් කොට සාමාන්‍ය පරිදි සිර මැදිරිවලට ‍දොරගුළු දමා ඇත.

අනතුරුව බන්ධනාගාර නිලධාරීන් මත්කුඩු සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම, අලෙවි කිරීම සහ
මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනාවලට ලක්ව රඳවා සිටින එහි බී 02 - සිර මැදිරියේ  රැඳවියන්
පිරිසක් සිර මැදිරිය තුළට ඇතුළත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් සූදානම් වූ අවස්ථාවේ ප්‍රථමයෙන් එමෙ රැඳවියන් විසින් මෙම කලහකාරී තත්ත්වයට මුල පුරා තිබිණි.

එම අවස්ථාවේ මහල් දෙකකින් සමන්විත රැඳවියන් දෙසීය අසූ දෙනකු පමණ රඳවා සිටි බී - 02 වාට්ටුවේ
රැඳවියන්ගෙන් පිරිසක් එහි වහලයේ සිවිලිම කඩා වහලය මතට නැඟ කොරෝනා වෛරසය පැතිරීයෑම නිසා තමන්ගේ ජීවිතවලටද තර්ජනයක් එල්ලවී ඇති බව ප්‍රකාශ කොට ඇත.

ඒ නිසා ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසට බලකර සිටිමින් ඔවුන් කලහකාරී ලෙස හැසිරීමට පටන්ගනු ලැබූහ.

ඒ අතර සිටි තවත් රැඳවියන් පිරිසක්  “අපට මත්ද්‍රව්‍ය හුරු කළේ උඹලා. අපට මත්ද්‍රව්‍ය නැතිව
ඉන්න බෑ. අපට මත්ද්‍රව්‍ය ගෙනත් දියව්. එහෙම නැතිව අපට ජීවත් වෙන්න බෑ” කියමින් කෑ කෝ
ගසන්නට වූහ.

එම අවස්ථාවේ එම සිර මැදිරියේම රඳවා සිටින තවත් රැඳවියන් පිරිසක් බී - 02 වාට්ටුවේ බිම් මහලේ
සිට වහලය මත රැඳී සිටි රැඳවියන්ට සහාය පළ කරමින් උද්ඝෝෂණයක නිරතව සිට ඇති අතර එය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් උත්සාහ කිරීමේදී තවත් පිරිසක් බන්ධනාගාරයේ මුළුතැන්ගේ කඩා එහි තිබූ උපකරණ පැහැර ගනිමින් එහි තිබූ උපකරණවලින් බන්ධනාගාර නිලධාරීන්ට පහරදීමට තැත් කර තිබේ.

මේ අතර තවත් පිරිසක් බන්ධනාගාරය තුළ තිබූ මල් පෝච්චි කඩා ඒවායේ කැබලිවලින් සහ ගල්මුල්වලින් බන්ධනාගාර නිලධාරීන්ට පහරදීමට පටන් ගෙන ඇත.

ඒ සමඟම ක්‍රියාත්මක වූ බන්ධනාගාර අධිකාරි සුගත් රෝහණ ලොකුගලප්පත්ති සහ ප්‍රධාන ජේලර් සමන්ත දහනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත බන්ධනාගාර රෝහලේ තිබූ මානසික රෝගීන්ට ලබා දෙන ඖෂධ, සිරකරුවන්ගේ රක්ෂිත බලපත්‍ර, බාහිර සුරක්ෂිත ස්ථානයක තබා අවි ගබඩාවේ තිබූ සියලු ගිනි අවි නිලධාරීන් භාරයට පත් කිරීමට පියවර ගෙන තිබේ. එම නිසා ඒවා රැඳවියන්ට අතට පත්වීම වළකා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්ව තිබිණි.

එසේ නොවූයේ නම් රැඳවියන්ට ඒවා තම සන්තකයට ගෙන බන්ධනාගාරය තුළ සහ ඉන් පිටතදී විශාල
විනාශයක් සිදු කිරීමට ඉඩ තිබූ බව අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරියකු පැවැසීය.

තවත් රැඳවියන් පිරිසක් අනිකුත් සිර මැදිරිවල ‍ෙදාරගුළු කඩා ඒවායේ සිටි සියලු රැඳවියන් ඉන් එළියට
ගෙන ඔවුන්ගේද සහාය ඇතිව බන්ධනාගාර රෝහල කඩා රෝහලේ තිබූ ඔෟෂධ පැහැරගෙන ඇත.

අනතුරුව ඔවුන් ගබඩාව කඩා එහි තිබූ උදලු, පිහි, අලවංගු සහ කැති ඇතුළු උපකරණ පැහැරගෙන
බන්ධනාගාරයේ පාලනය සිය භාරයට නතු කර ගනු ලැබීය. කාර්යාලයට කඩා වැදුණු රැ½දවියකු එහි තිබූ මෙගපෝනයක් රැගෙන සියලු රැඳවියන් මෙහෙයවා තිබේ. කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස සිද්ධිය වන අවස්ථාවේ බන්ධනාගාරය තුළ එදින සේවය කොට ඇත්තේ 15කට ආසන්න නිලධාරීන් පිරිසක් පමණි.

බන්ධනාගාර නිලධාරීන් සිය රාජකාරි ගිනි අවි ක්‍රියාත්මක කරමින් උඩට වෙඩි තබා බිය ගන්වා එහි
පැවැති තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. ඒ අනුව ක්‍රියාත්මක වූ අනුරාධපුර
බන්ධනාගාර අධිකාරි සුගත් රෝහණ ලොකු ගලප්පත්ති මහතා සිද්ධිය පිළිබඳව දැනුම් දී වහා අනුරාධපුර පොලිසිය කැඳවීමට පියවර ගත්තේය.

වහා එහි පැමිණි අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතා  ඇතුළු පොලිස් කැරලි මර්දන කණ්ඩායම් බන්ධනාගාරයේ පැවැති තත්ත්වය පාලනය කිරීමට සහ රැඳවියන් බන්ධනාගාරයෙන් පලායෑම වැළැක්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී  ලංකා යුද හමුදාවේ භට පිරිස් කැඳවා බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව සඳහා තහවුරු කරනු ලැබීය.

මේ අතර බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිර මැදිරිවල සිටි කාන්තා රැඳවියන් ආරක්ෂාව සඳහා
බන්ධනාගාර බස් රථයකින් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත
අනුරාධපුර පොලිසිය වෙත පිටත් කර යැවීමට බන්ධනාගාර අධිකාරිවරයා පියවර ගත්තේය. අනතුරුව එදිනම රාත්‍රියේ වැඩිදුර ආරක්ෂාව සඳහා කාන්තා රැඳවියන් වාරියපොළ බන්ධනාගාරයට පිටත් කර හැරීමට බන්ධනාගාර අධිකාරිවරයා පියවර ගනු ලැබීය.

සවස 5.30ත් 6.15ත් අතර කාලයේ රැඳවියන් බන්ධනාගාරය තුළ ප්‍රධාන පිවිසුමේ  පළමු ‍ෙදාරටුව
කඩා ඇතුළු වී අනතුරුව දෙවැනි ‍ෙදාරටුව කඩා පලායෑමට උත්සාහ කළ අවස්ථාවේ තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාගේ නියෝග මත  නියාමකවරයකු  විසින් සිය අවම බලය පාවිච්චි කරමින් රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා  ඇත.

එසේ නොවන්නට දරුණු ගණයේ අපරාධකරුවන් බොහෝ පිරිසක් ප්‍රධාන ‍ෙදාරටුවෙන් පලායෑමට ඉඩ තිබූ බවත්  පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් පැවැසූහ.

එම අවස්ථාවේ නියාමකවරයකු තැබූ වෙඩි ප්‍රහාර කීපයකින් පසු ගෑස් සිලින්ඩර කීපයකට මුවා වී සැඟවී සිටි බරපතළ තුවාල ලැබූ රැඳවියන් දෙදෙනකු ඇතුළු අට දෙනකු  ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන යෑම සඳහා  බන්ධනාගාරයෙන් එළියට ගැනීමට රැඳවියන් දෙසට ක¾දුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පොලිසියට සිදුවිය.

අනතුරුව බන්ධනාගාරයෙන් එළියට ගත් තුවාලකරුවන් ගිලන්රථ මඟින් රෝහල කරා පිටත් කර යැවිණි. ඉන් එක් අයෙක් රෝහලට රැගෙන යනවිටත් මියගොස් සිටියේය. ප්‍රතිකාර ලබමින් සිටියදී රැඳවියකු මිය ගොස් ඇත.

මේ අතරතුර සවස 6.30 පමණ වනවිට බන්ධනාගාර නිලධාරීන්ගේ විවේකාගාරයේ තිබූ කොට්ට, මෙට්ට, ඇඳන්, ඇඳ ඇතිරිලි, කාර්යාල උපකරණ සහ මුළුතැන්ගේ තිබූ ගෑස් සිලින්ඩර් ගොඩ ගසා  ගිනි තබා පුලුස්සනු ලැබීය. එම අවස්ථාවේ පොලිසිය ගිනි නිවන භට කණ්ඩායම් කැඳවා ගින්න පාලනය කිරීමට පියවර ගත්තේය.

මේ සියල්ල එසේ වෙද්දී තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ පිටත ප්‍රධාන තාප්පය අලවංගුවලින්
සිදුරු කොට පලායෑමට උත්සාහ කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව එක්ව එය
වැළැක්වීමට කටයුතු කෙරිණි.

අනතුරුව පොලිසිය ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතයට ගනිමින් රැඳවියන්ට යටත් වන ලෙසට ඉල්ලීමක් කර සිටියේය. එම ඉල්ලීමටද රැඳවියන්ගෙන් ප්‍රතිචාරයක් නොලැබිණි. ඒ අනුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය රාත්‍රි 8.00 පමණ වනතුරු විටින් විට අවස්ථා කීපයකදීම රැඳවියන් දෙසට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කෙරිණි.

පසුව තත්ත්වය පාලනය කළ පොලිසිය රාත්‍රි 8.30 පමණ වනවිට බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාරය තුළට යවා කලහාකාරී ලෙස හැසිරුණු රැඳවියන් සිර මැදිරිවලට ඇතුළත් කොට  ඉබි යතුරු දමනු ලැබීය. බන්ධනාගාර නිලධාරීන් කාන්තා අංශය පරීක්ෂාවට ලක් කිරීමේදී ඇතිවූ කලහකාරී තත්ත්වය හමුවේ එක් රැඳවියකු බන්ධනාගාරයේ පරිපාලන ගොඩනැඟිල්ලට නැඟ තාප්පයෙන් පැන කාන්තා අංශයට පැන පලායෑමට සැඟවී සිටියදී අත්අඩංගුවට පත්විය.

මෙම සිද්ධියේ මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට ලක්ව බන්ධනාගාර ගත කොට සිටි අනුරාධපුර, ඉපලෝගම, කලාකරඹෑව, පුගොල්ලෑව  ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.එම්.ඒ. සමන් කුමාර සහ ගල්ගමුව උස්ගල, සියඹලන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.එල්.ඩී. අසංක පුෂ්ප කුමාර යන සැකකරුවන් දෙදෙනා මිය ගියහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න සමරසිංහ මහතා පෙරේදා
(22දා) ස්ථානීය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක්
පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කළේය.

සිද්ධියෙන් මියගිය සැකකරුවන් දෙදෙනාගේ සිරුරු ඔවුන්ගේ ළඟම ඥාතීන්ට භාරදීමට කටයුතු කරන ලෙසටත් විනිසුරුවරයා පොලිසියට නියෝග කළේය.ඒ අනුව අසංක පුෂ්ප කුමාර නමැති සැකකරුගේ දේහය භාර ගත් ඔහුගේ මව අනුරාධපුර නිසල නිම්නය
පොදු සුසාන භූමියේදී මිහිදන් කරනු ලැබූ අතර සමන් කුමාර නමැති සැකකරුගේ දේහය ඔහුගේ බිරිය
ගල්ගමුව, උස්ගල, සියඹලන්ගමුව පොදු සුසාන භූමියේ මිහිදන් කිරීම සඳහා භාර ගනු ලැබුවාය.


අනුරාධපුර - පර්සි කුරුනේරු