කොළඹ ප්‍රදේශයේ සිට දඹුල්ලේ මළ ගෙදරකට යාම  සඳහා ඇදිරි නීති අවසර පත්‍රයක් ලබා ගෙන  වාහන තුනකින් එළවළු ප්‍රවාහනය කළ ඇඳිරි නීති බලපත්‍රයක් ගත් පුද්ගලයෙක් සමඟ තිදෙනෙකු යක්කල පොලිසිය මගින්
අත් අඩංගුවට ගෙන ඇත.


යක්කල පොලීසිය මගින් යොදා ඇති බැලුම්මහර මාර්ග බාධකයේදී අද  (28) සවස වාහන පරීක්ෂා කරමින් සිටියදී  ඇඳිරි නීති බලපත්‍රය ගත් පුද්ගලයා පවසා ඇත්තේ  තමන් සහ තවත් දෙදෙනෙකු දඹුල්ල ප්‍රදේශයේ අවමංගල්‍යකට සහභාගිවී ආපසු එමින් සිටියදී එළවළු තොගයක්ද රැගෙන යන බවය.

එහෙත් වාහන තුනකින්,  තිදෙනෙකු මළ ගෙදරක යාම පිළිබඳව සැකසිතූ පොලිස් නිලධාරීන් විසින් අනෙක් වාහන දෙකෙහි රියදුරන් දෙදෙනාගෙන් ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වී ඇත්තේ මළ ගෙදරක නොගිය බවත් එළවළු රැගෙන ඒම පිනිස දඹුල්ලට ගිය බවත්ය. ඇදිරි නීති බලපත්‍රයද පෙර දිනයේදී අවසන්ව ඇති බවද පෙනී ගිය බවද පොලීසිය පවසයි.

වාහන තුනෙහි කිලෝ 2000 ක පමණ එළවළු තොගයක් තිබී ඇති අතර ඇඳිරි නීති බලපත්‍රය ගත් පුද්ගලයා ඉදිරිපත් කළ හැදුනුම්පත 2018 වසරේදී නිකුත් කළ එකක් බව අනාවරණයවී යැයි පොලීසිය සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි යක්කල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් සුසන්ත මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක එස්.ආර්.අමරසිංහ මහතා ඇතුළු පිරිසක් පරීක්ෂණ සිදු කරනු ලබන අතර සැකකරුවන් අද සවස ගම්පහ මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
(තිලකරත්න දිසානායක.)