ඉදිරි මහ මැතිවරණයට අදාළ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරිහුද, සහකාර හා නියෝජ්‍ය
කොමසාරිස්වරු ද අනිද්දා (5)කොළඹට කැඳවනු ලැබ සිටිති.  මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී අනිද්දා පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා මෙම රැස්වීම පැවැත්වෙන බව එම කොමිසමේ නිලධාරියෙක් පැවැසිය.

මහ මැතිවරණයේ දී ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම, ඡන්ද මධ්‍යස්ථානවලට ආරක්ෂාව සැලසීම, නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම, පක්ෂ කාර්යාල පිහිටුවීම, ඡන්ද රාජකාරි කටයුතු සඳහා නිලධාරින් යෙදවීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෑවැත්වෙන මෙම සාකච්ඡාවට කොමිසමේ අනෙකුත් සාමාජිකයෝ ද නිලධාරිහු ද සහභාගි වෙති. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් පසුව මහ මැතිවරණය අප්‍රේල් මස 25 හා 28 යන දින දෙකෙන් එකක දී පැවැත්වීමට නියමිතය.

මැතිවරණ නාම යෝජනා කැඳවීම ලබන 11 හා 17 අතර දී සිදු කරනු ඇතැයි දැනගන්නට ඇත. මෙම මහ මැතිවරණයට අදාළ මූලික කටයුතු මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉකුත් සතියේ දී අරඹන ලදි. ඒ මැතිවරණයට අදාලව නිලධාරීන් වෙත චක්‍රලේඛ දෙකක් නිකුත් කරමිනි.