රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ උපාධිධාරින් 45,58කට රජයේ රැකියා පත්වීම් ලිපි තැපෑලෙන් යැවීම ඊයේ (02) ආරම්භ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. උපාධිධාරින් 45,585කට රජයේ රැකියා පිරිනමා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් ජනාධිපතිවරණයේදී ජනතාවට
දුන් තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමිනි. පත්වීම් ලබන උපාධිධාරින් පත්වීම් ලිපි ලැබී දින තුනක් ඇතුළත තමා අයත් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත  වාර්තා කළ යුතුය. පත්වීම් ලිපිය ලැබීමෙන් පසුව දින හතකදී  පුහුණුව සඳහා වාර්තා කළ යුතු වන අතර පුහුණුව සඳහා වාර්තා නොකළහොත් පත්වීම් අවලංගු වන බව සඳහන් කරන ජනාධිපති කාර්යාලය පුහුණුවන් පසුව සියලු දෙනාම විශ්‍රාම වැටුප ද සහිතව රජයේ ස්ථිර සේවයේ පිහිටුවන බව ද ප්‍රකාශ කරයි.

සියලු පත්වීම් දිස්ත්‍රික් පදනමින් සිදු කෙරෙන අතර සෑම අයකුම පත්වීම ලබන  දිස්ත්‍රික්කයේ වසර පහක් සේවය කිරිම අනිවාර්ය වෙයි.  පුහුණු කාලය වසරකි. ඒ පුහුණු කාලයේදී රුපියල් 20,000ක දීමනාවක් හිමිවන බව ජනාධිපති කාර්යාලය පවසයි.  රජය මේ රැකියා පිරිනමා ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ ඊට සමාන සුදුසුකමක් ලෙස පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019  දෙසැම්බර් 31 වැනිදාට පෙර සම්පූර්ණ කර තිබූ උපාධිධාරීන් පිරිසකටය.

උපාධිධාරි රැකියා සඳහා ඉල්ලුම්පත් 70,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබිණි. මේවායින් ඉල්ලුත් 56,000ක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හා තවත් ආයතන කිහිපයක පූර්ණ පරික්ෂාවට ලක් කෙරැණු අතර නියමිත නිර්ණායක සම්පුර්ණ කළ  අයදුම්පත් 45,585ක් පත්වීම් පිරිනැමීම සඳහා මෙහිදී තෝරාගනු ලැබීය.

-සුජිත් හේවාජුලියගේ-