‘කෝවිඩි-19 වෛරසයේ බලපැමත් සමඟ එළඹෙන 29දා ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් 2020 තරඟාවලියේදී ප්‍රේක්ෂකයන් සහභාගි කරගැනීම සම්බන්ධයෙන් මේ වන විට දෙගිඩියාවක් මතුව ඇති බව
'ඉන්දියා ටුඩේ' වෙබි අඩවිය වාර්තා කරයි.

ක්‍රිකට් ලෝලීන්ගේ ඉහළ සහභාගිත්වයක් සහිතව පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියේ මෙවර අදියර සඳහා ප්‍රේක්ෂක සහභාගිත්වය අවම කිරීමට මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවද එම වෙබ් අඩවිය වාර්තා කරයි. කෙසේ වෙතත් සාමාන්‍ය පරිදි තරඟාවලිය පැවැත්වූවත් ක්‍රීඩකයන්ට යම් යම් තහංචි පැනවෙනු ඇති බව වාර්තා වේ. ඒ අනුව අයි.පී.එල්. තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ට ප්‍රේක්ෂකයන් සමග සෙල්ෆි ගැනීම තහනම් වීමට වැඩි අවස්ථාවක් පවතී. එමෙන්ම ක්‍රීඩකයන් එසේ සිදුකරන්නට පෙළඹෙන්නේ නම් එය පාලනය කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් දැනුවත් කර ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ මෙවැනි තීරණයක් ගැනීම මේ සඳහා විසඳුමක් නොවන බවයි. මේ අතර අයි.පී.එල්. තරගාවලිය සම්බන්ධයෙන් ඉන්දියාව තුළ උණුසුම්කාරී තත්වයක් නිර්මාණය වී ඇති බවක් පෙනෙන්නට තිබේ. අයි. පී.එල්. තරගාවලිය කල් දමන ලෙස මදුරාසි මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, කර්නාටක ප්‍රාන්තය බැංගලෝර්හි පැවැත්වෙන තරඟ සඳහා මේ වනවිට ඉහළ දේශපාලන අධිකාරීයෙන් උපදෙස් පතා ඇති බවද වාර්තා වේ.

ඉන්දියාව තුළ දිනෙන් දින කෝවිඩ්19 ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බැවින් අයි.පී.එල්. තරගාවලිය කල් දැමිය යුතුද යන්න පිළිබඳ ඉන්දීය රජය සාකච්ඡා කරමින් සිටින බව මහාරාෂ්ට සෞඛ්‍ය ඇමතිවරයා තහවුරු කර ඇති බවද වාර්තා වේ. එහෙත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සවිරව් ගංගුලි මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ සුපුරුදු පරිදි අයි.පී.එල්. තරගාවලිය පැවැත්වෙන බවයි.