කෝවිඩ් 19 වෛරසය මේ වනවිට ලොව පුරා පැතිර යෑම හේතුවෙන් දැනට විදේශගතව සේවය කරන හා විදේශගත වීමට අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් වූ ඉදිරි තීරණ ඒ ඒ රටවල අදාළ බලධාරීන් විසින්
ලබාදෙන උපදෙස් මත ගනු ලබන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.


එම කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රට රැකියාවලට යොමුවන්නේ නම්, සෞඛ්‍ය අංශවල උපදෙස් තරයේ පිළිපදින ලෙසයි. එසේම ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් රැකියා සඳහා පිටත් වන මැදපෙරදිග ඇතුළු ආසියානු හා යුරෝපීය රටවල් කෝවිඩ් 19 වෛරසයේ බලපෑමට ලක් වී ඇති බැවින් අදාළ රටවල රැකියා සඳහා පිටත් වීම තාවකාලිකව කල් දැමීම සුදුසු වන බවටද කාර්යාංශය යෝජනා කර සිටියි.

කාර්යාංශය පෙන්වා දෙන්නේ මේ වනවිට කටාර් හා කුවේට් රාජ්‍යයන් තම රටට පැමිණෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති බවත්, ඒ අනුව සෙසු රටවල්ද ඉදිරියේදී මෙම පියවර ගැනීමට ඉඩ ඇති බවත්ය.  කෙසේ වුවද ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසට වෛරසය පැතිර ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවය කරන රටවල තානාපති කාර්යාලවල කම්කරු අංශ වෙත සියලු උපදෙස් ලබා දී ඇති බවත්, ඒ සඳහා තොරතුරු ලබාගැනීමට එම රටවල තානාපති කාර්යාල විශේෂ දුරකථන අංකද හඳුන්වා දී ඇති බවත් සඳහන්ය. මීට අමතරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ '1989' යන ක්ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන්ද අවශ්‍ය උපදෙස් ලබාගත හැකිය.

- නිදර්ශනී වික්‍රමසිංහ -