ගුවන්තොටුපොළ දත්ත අනුව පසුගියදා (7දා) වැනිදා චීනයේ සිට ගුවන් යානා දෙකකින් මෙරටට පැමිණි
චීන ජාතිකයන් 181 දෙනා නිරෝධායනයට ලක් නොකර ඇතැයි ජවිපෙ ප්‍රචාරක ලේකම් ගම්පහ දිස්ත්‍රික්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගුවන්තොටුපොළට යවන ලිපිවල සඳහන්ව ඇත්තේ දකුණු කොරියාවෙන් හා
ඉරානයෙන් පැමිණෙන අය නිරෝධායනය කිරීම පමණක් සිදුකරන අතර රෝගය ව්‍යාප්ත වූ රට වන චීනයෙන්
පැමිණෙන චීන ජාතිකයන් මෙසේ නිදැල්ලේ යෑමට ඉඩදීම බරපතළ කාරණයක් බවද ඒ මහතා සඳහන් කරයි.

කොරෝනා ව්‍යසනය තව මාස තුනක් පැතිරුණහොත් බරපතළ ආහාර හා බෙහෙත් මෙන්ම ආනයනික භාණ්ඩ
හිඟයක් ඇති වන බවත් මෙය ජාතික ව්‍යසනයක් දක්වා දික්ගැහීමට ඉඩ නොදී පොදු ජාතික මැදිහත්වීමක්
රජය වශයෙන් කළයුතු බවත් ඔහු අවධාරණය කළේය.

ඒ අනුව පක්ෂයක් ලෙස ජවිපෙ ඊට පූර්ණ මැදිහත්වීමක් කරන බව පැවැසූ ඒ මහතා වැඩිදුරටත්
පැවැසුවේ, රජය මෙම තත්ත්වය තුළ කඩිනම් ක්‍රියාමාර්ගයකට යෑම අත්‍යවශ්‍ය බවය.


අනුරාධා හේරත්