යාපනය ප්‍රදේශයේ දී පසුගියදා පැවති ආගමික උත්සවයකට සහභාගිවූ ස්විට්සර්ලන්ත පුජකවරයෙකු කොරෝනා ආසාදිතවී ඇති බවට ස්විට්සර්ලන්ත සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

එම පුජකයාගේ සහභාගිත්වයෙන් පසුගිය ඉරිදා යාපනය, අරියාලේ

ප්‍රදේශයේ 150 කට අධික පිරිසක් සහභාගිවී ඇති ආගමික උත්සවයක් පවත්වා තිබී ඇති අතර උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වන පි.එස්.එම්. චාර්ල්ස් මහත්මිය සඳහන් කළේ උත්සවයෙන් අනතුරුව එම පූජකවරයා යළි ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් තිබූ බවයි.
මේ වන විට ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් එම ආගමික මෙහෙයට එක්වූ
පුද්ගලයින් කොරෝනා අවදානමක පවතින බවද ඇය පවසා ඇත. එයට එක්වූවන් කවුදැයි සොයා මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර CCTV කැමරා උපයෝගී කර ගනිමින් අදාළ පුද්ගලයින් හඳුනා ගැනීමේ කටයුතු සිදුකරන බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
එම ආගමික උත්සවය සඳහා පැමිණි පිරිස් ඇත්නම් ඔවුන්ට වහාම ස්වයං නිරෝධායනය වන ලෙස ආණ්ඩුකාරවරිය ඉල්ලා සිටියි.
යම් අයුරකින් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම 021-2227278 යන අංකය ඔස්සේ පළාත් සෞඛ්‍ය කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද උතුරු පළාත් ආණ්ඩුකාරවරිය එම ජනතාවගෙන් ඉල්ලා ඇත.