රටේ දිළිඳුතම පවුල් ලක්ෂයක් දිළිඳු බවින් මුදා ගැනීම අරමුණු කරගත් වැඩසටහන මාස 03කට පමණ පෙර ආරම්භ වූවක් බැවින් එය අඛණ්ඩව කරගෙන යාමට අනුමැතිය දෙන්නැයි ව්‍යාපෘතිය භාර බහුකාර්ය සංවර්ධන බලකාය මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලා සිටී.


ව්‍යාපෘතියේ ආරම්භය අරමුණු සහ ක්‍රියාකාරිත්වය පැහැදිළි කරමින් මැතිවරණ කොමිසම වෙත අද (06) ලිපියක් යැවූ බහුකාර්ය සංවර්ධන කාර්යය සාධක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්වාරච්චි මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණ ද නාම යෝජනා කැඳවා නැති බැවින් උක්ත කාර්යයට අවසර දෙන ලෙස දැනුම් දුන්නේය.

ලිපියේ සඳහන් පරිදි බහුවිධ සේවා සැපයුම්කරුවන්ගෙන් සැදුම්ලත් සංචිතයක් ස්ථාපනය කිරීමට 2019 දෙසැම්බර් 10 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කෙරිණ. සංචිතයට පිරිස බඳවා ගැනීමේ පුවත්පත් දැන්වීම මේ වසරේ ජනවාරි 20 වැනිදා පළ කරන ලදි. අනතුරුව පෙබරවාරි මස අවසන් සතියේ දී ආරම්භ වූ සම්මුඛ පරීක්ෂණ දැන් අවසන් කර තිබේ.

 සංචිතය කළමනාකරණය සඳහා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කිරීමට ජනවාරි 03 වැනිදා අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. ඊට අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට පෙබරවාරි 18 වැනිදා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිණ. ජනාධිපති කාර්යාලය රුපියල් කෝටි 115 ක ප්‍රතිපාදන වෙන් කළේය.

නව දෙපාර්තමේන්තුවට රජයේ නිලධාරීන් අනුයුක්ත කර ගැනීම දැන් කළයුතුව ඇතැයි කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. එසේම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණි අය අතරින් සුදුසුකම් ඇති ලක්ෂයක් බඳවා ගැනීම ද කළයුතුව තිබේ. එසේ බඳවා ගනුයේ අඩු අධ්‍යාපන සුදුසුකම් සහ නිපුණතා රහිත දුප්පත්ම පවුල් අතරිනි.

මේ කාර්යය මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිට සිදු වෙමින් පවතින්නක් බැවින් එය ඉදිරියට ගෙන යාමට අනුමැතිය දෙන ලෙස අධ්‍යක්ෂ ජනරාල් නන්ද මල්ලවාරච්චි මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටී.