යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ සිය පවුලට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම වළකාලමින් තහනමක් පැනවීම අගය කරන බව දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද මෙම තහනමෙන්, යුද්ධය නිම වී දස වසරක් අන්ධව සිටි ආණ්ඩුවේ දෑස් විවර කර තිබෙන බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.

යුද හමුදාපතිවරයාට ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති එම තහනම පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය පැහැදිලි කරමින් එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් නිකුත් කරන මාධ්‍ය නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාටත් ඔහුගේ පවුලටත් ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම වළකාලමින් තහනමක් පනවා තිබෙනවා. අවසන් යුද්ධ සමයේදී සිදුකරනු ලැබූ මානව හිමිකම් කඩකිරීම් යුද අපරාධ හා මනුෂ්‍යත්වයට පටහැනි ක්‍රියාදාමයන් සම්බන්ධ සාක්කි සාධක අනුව එවක යුද හමුදාවේ 58 වැනි සේනාංකය බාර වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වගකිව යුතු වෙනවා.

ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත්කළ අවස්ථාවේදී ඉහත දැක්වූ කාරණා මත දෙමළ ජාතික සන්ධානය එම පත්කිරීම ගැන අප්‍රසාදය සහ විරෝධය පළකළා.

යුද්ධය අවසන් වී වසර දහයක කාලයක් ගතවී තිබියදීත් වගකීම් පැහැර හරින ලද ආණ්ඩුවේ දෑස් මේ තහනම තුළින් විවර වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. යුද්ධයෙන්නේ අගතියට පත් දෙමළ ජනතාව යුක්තිය වෙනුවෙන් වසර ගණනාවක් අරගල කරමින් සිටියා. ඒ අරගලයේ සුළු ප්‍රතිඵලයක් විදිහට අපි මේ තහනම දකිනවා.

ශ්‍රී ලංකා රජය දැන් හෝ ජාත්‍යන්තරයට විමර්ශනවලින් හෙළිව ඇති මේ සාක්‍ෂි පදනම් කරගනිමින් යුද අපරාධකරුවන්ට දඩුවම් ලබාදීමට ඉඩකඩ විවර කරදිය යුතුයි කියල දෙමළ ජාතික සන්ධානය විදිහට අපි බලකර සිටිනවා යැයිද එහි සඳහන් වේ.

-එෆ්.අස්ලම්-