ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් පෙනී සිටිමින් කොම්පඤ්ඤවීදියේ අවන්හලක් තුළ මත්පැන් පානය කර, බිමතින් බහින්බස්වී අවන්හලේ හිමිකරු ඇතුළු පිරිසකට පහර දී තුවාල සිදුකර, තමාට පිරිසක්
පහර දුන් බවට කොම්පඤ්ඤවීදිය පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම සැකකරු ඉකුත් 14 වැනි දා රාත්‍රියේ මෙම අවන්හලට පැමිණ මත්පැන් පානය කර එහි සේවකයන් සමග බහින්බස්වී අවහන්හලේ හිමිකරු ඇතුළු පිරිසට පහර දී  ඇති බව පොලිසිය පවසයි.

පසුව සැකකරු එදින අලුයම ඔහුගේ පෙම්වතිය බව කියන තරුණියක් හා කිහිප දෙනකු සමග කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණ තමන් ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා බවත් තම පෙම්වතිය ඇතුළු පිරිසක් සමග අවන්හලේ සිටිය දී අවන්හලේ හිමිකරු ඇතුළු සේවකයින් පිරිසක් තමන්ට පහර දුන් බවට පවසා පැමිණිල්ලක් කර පසුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇත.  පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කොට සිද්ධිය වූ අවන්හලේ ඇති සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පරික්ෂා කිරිමේ දී සැකකරු ඇතුළු පිරිස අවන්හලේ සේවකයන් සමග බහින්බස් වී එහි දේපළවලට පහර දී හානි සිදුකර පලා යන අයුරු එහි සටහන්ව තිබී ඇති බව පොලිසිය කියයි.

සැකකරු ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා නොවන බවට ද පොලිසිය තොරතුරු හෙළිකරගෙන තිබිණි. ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ව්‍යාජ ලෙස පෙනී සිටිමින් පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කිරිම සම්බන්ධයෙන් පොලිසිය පසුව සැකකරු  අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු හැව්ලොක් ටවුන්හි පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරිකයකු බව ද පොලිසිය පවසයි.

-ඉන්දිකා රාමනායක-