එංගලන්තයෙන් මෙරටට ආනයනය කරන ලද අපද්‍රව්‍ය සහ කසළ අඩංගු කන්ටෙනර් සියල්ල යළි එංගලත්තයට හරවා එවන්නැයි එංගලන්ත රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය. බාසල් සම්මුතියට අනුව මෙම ඉල්ලීම කර ඇති අතර, එංගලත්තය විසින් ශ්‍රී ලංකාවේ පරිසර
අමාත්‍යාංශයට එම ඉල්ලීම නිල වශයෙන් ඉදිරිපත් කර ඇති බවද පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂිකා සුජීවා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රිය සංවිධාන කළ සාකච්ඡාවකට ඊයේ (06දා) කොළඹදී එක්වෙමින් සුජීවා මහත්මිය මේ බව කීවාය. එංගලන්තය එසේ ඉල්ලීම් කර තිබුණද එම කසළ කන්ටේනර් සම්බන්ධයෙන් දැනට මෙරට අධිකරණයේ නඩුවක් විභාග වන හෙයින්, ඒවා ප්‍රවාහනය කිරීම වළක්වා අධිකරණ අතුරු තහනම් නියෝගයක් ලබා දී ඇති බැවින් එම කන්ටේනර්  මෙතෙක් ආපසු යැවීමට නොහැකි වී ඇති බවද ඇය පෙන්වා දුන්නාය. වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීවා ප්‍රනාන්දු මහත්මිය,

“ශ්‍රී ලංකාව බාසල් සම්මුතියට අත්සන් කරලා තියෙන නිසා ශ්‍රී ලංකාවට දැනුම්දෙන්නේ නැතිව වෙනත් රටකින් කසළ ගෙනාවොත් ඒවා ආපසු යවන්න පුළුවන්. අපි ඉතිහාසය පුරාවට එහෙම යවලා තියෙනවා. එංගලන්තයෙන් ගෙනාපු කසළත් අපට ඒ විදිහට යවන්න පුළුවන්. නමුත් පරිසර යුක්ති කේන්ද්‍රය ඒ සඳහා නඩුවක් පවරලා තියෙනවා. ඒ අනුව නඩුව අවසන් වනතුරු කසළ කන්ටේනර්වලට කිසිවක් කරන්න එපා කියලා උසාවි නියෝගයක් තිබෙනවා.  ඒ හින්දා තමයි අපට යවන්න බැරි වෙලා තිබෙන්නේ. නැතිනම් එංගලන්තය දැනටත් ඒ කසළ එවන්න කියලා පරිසර අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. නඩුව ඉවර වුණාම තීන්දුවක් එයි" යැයි පැවසුවාය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පැවසුවේ එංගලන්තය මෙම කසළ කන්ටේනර් තොගය ඒවා ඇත්තේ බාසල් සම්මුතිය උල්ලංඝනය කරමින් බවය. ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින නීතිරීති අනුව කිසිම ආකාරයක කසළ ලංකාවට ගෙනඒමට නොහැකි බවද හෙතෙම සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ජගත් ගුණවර්ධන මහතා,

“එංගලන්තය ලංකාවට කසළ එවලා තිබෙන්නේ බාසල් සම්මුතිය උල්ලංඝනය කරලා. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. රජයකින් පූර්ව ලිඛිත අනුමැතියක් අරගෙනයි මෙවැනි කටයුතු කළ යුතු වෙන්නේ. නමුත් එංගලන්තය එහෙම කරලා නැහැ. මේ සඳහා වෙනම නීති අවශ්‍ය නැහැ. බාසල් සම්මුතිය යටතේ එය කරන්න පුළුවන්.  ඒ වගේම අද වනවිට ලංකාවට කසළ ගේන්න අවශ්‍ය නැහැ. 2013දී ඇති කරපු ආනයන අපනයන පාලන රෙගුලාසිවල ගැටලු තිබුණා. නමුත් 2017දී  ඇති කරපු රෙගුලාසිවලින්  ඒ ගැටලු අවම කළා. ඒ අනුව දැන් ලංකාවට කිසිම ආකාරයක කසළ ගේන්න බැහැ. සමහර අය අමුද්‍රව්‍ය ගෙන්වන මුවාවෙන් කසළ ගේනවා.  අන්න ඒ වැරැද්ද අපි නිවැරදි කළ යුතුයි.

ඒ සඳහා ආනයන අපනයන පාලන පනතේ රෙගුලාසියකට ඒ බව ඇතුළත් කළ යුතුයි. අමුද්‍රව්‍ය
ලෙස හරියටම ගෙන්වන්න පුළුවන් මොනවාද කියන දේ හඳුනාගත්තොත් මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්” යැයි කියා සිටියේය. එංගලන්තයේ සිට කසළ කන්ටේනර් 111ක්  මෙරටට ගෙන්වා ඇති බවත්, ඒවා මීට වසර  තුනකට පමණ පෙර ගෙන්වා ඇති බවත් පසුගිය වසරේදී අනාවරණය විය. පාවිච්චි කළ මෙට්ට ආනයනය කරන බව පවසමින් එම කසළ කටේනර්වල ශර කොටස් සහ සායනික අපද්‍රව්‍ය ගෙනැවිත් ඇති බවද එහිදී අනාවරණය විය. එම කසළ කටේනර් දිවයින්නේ කිසිදු ප්‍රදේශයකට ප්‍රවාහනය වළක්වාලමින් පසුගිය වසරේදී  අධිකරණය අතුරු තහනම්  නියෝගයක්ද නිකුත්  කළේය.

-චාමර සම්පත් -