අබුඩාබි රාජ්‍යයේදී ගෑස් සිලින්ඩරයක් පුපුරා මියගිය පුද්ගලයෙකුගේ මළසිරුර කඩිනමින් ලංකාවට ගෙනැවිත් දෙන ලෙස මියගිය අයගේ මව සහ බිරිඳ ඉල්ලා සිටියි.  මෙසේ මියගොස් ඇත්තේ කොන්ගොඩ, කෑගල්ල,
අංක 169 ලිපිනයේ පදිංචි නාමල්මුණි ජනිත් මධුෂාන් ද සිල්වා (26) නමැති පුද්ගලයෙකි. සිය සැමියාගේ මරණය පිළිබඳ අදහස් දක්වමින් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ වන දුලානි වාසනා මහත්මිය (24) මෙසේ අප සමග අදහස් දැක්වූවාය.

“මම වැඩ ඇරිල ඇවිත් සවස හයහමාරට විතර ජනිත්ගේ
ෆෝන් එකට කතා කළත් කතා කළේ නැහැ. රැ අටහමාරට විතර ජනිත්ගේ ෆෝන් එකෙන් යාළුවෙක් කතා කරල කිව්වා පිච්චිලා ජනිත්ට පොඩ්ඩක් තුවාල වෙලා හොස්පිටල් එකේ කියලා. පසුව කතා කළත් කවුරුවත් ආන්සර් කළේ නැහැ. අපිට මුකුත් විස්තරයක් දැනගන්න බැරිවයි හිටියේ. එක්කෙනෙක් ජනිත්ගේ ෆෝන් එකෙන්ම කතා කරල කිව්වා එයාට ටිකක් අමාරුයි, හොස්පිටල් එක මාරු කළා කියලා. ඊට පස්සේ අපිට කිසි තොරතුරක් දුන්නේ නැහැ.

ජනිත් වැඩ කරපු කොම්පනියේ ඉන්දියන් මැඩම් කෙනෙක් කතා කරල කිව්වා හොඳින් ඉන්නවා බය වෙන්න කියලා. අපි බලා ගන්නවා කියල කිව්වා.ජනිත්ගේ මාමා  කෙනෙකුගේ දුවක් අබුඩාබිවල ඉන්නවා. එයාට කිව්වම එයා හොස්පිටල් එකට ගිහින් බලල ඇවිත් කිව්වා ජනිත්ට අමාරුයි කියල. ඊයේ (05දා) උදේ  එකොළහමාරට විතර කතා කරල එයා කිව්වා පෙරේදා (04දා) මැරුණා කියල. ඒ ආරංචිය හැරෙන්නට වෙන කිසිම තොරතුරක් ඇත්තේ  නැහැ.

ජනිත්ගෙ අතින් ගින්නකට පෙට්‍රල් දමන්න ගිහින් පිච්චුණා කියලයි මුලදී කිව්වේ. ගෑස් සිලින්ඩරේ පිපිරිලා මැරුණ කියලා අපේ ඥාතියා කියන තුරු කවුරුවත් කිව්වේ  නැහැ. පොලීසියට ගියාම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට යන්න කිව්වා. අපේ මහත්තයගේ සිරුර හැකි ඉක්මනින් ගෙනැවිත් දෙන්න කියලා මා ඉල්ලා සිටිනවා.”

-තමිදු මධුසර ලියනගේ-