කුණු කොරියාව තුළ නව කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 556 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ගතවූ පැය 24 තුළ ආසාදිතයින් 229 දෙනෙකු එරටින් අලුතින් හඳුනාගත් අතර චීනයෙන් පිට එක රටක වැඩිම මරණ ගණන ලෙස මරණ 4 ක්  වාර්තා විය.
දකුණු කොරියාවේ කොරෝනා පැතිරීම නිසා විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක්
රැකියාව කරන රටක් ලෙස ශ්‍රී ලංකාවටද එහි අවදානමක් මතුව තිබේ.
චීනයේ ආසාදිතයින් ගණන පහළ යමින් වෙනත් රටවල නව කොරෝනා ආසාදිතයින් ඉහළ යාම ලෝක සෞඛ්‍යය සංවිධානයේ දැඩි අවධානයට ලක්ව තිබේ.

තත්ත්වය සැලකිල්ලට ගනිමින් දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරයා මෙය මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව තේගු සහ චෙන්ග්දෝ යන නගර විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කලාප ලෙස නම් කර තිබේ.
එම නිවේදනයත් සමග තේගු නගරයේ මාර්ග හා පොදු ස්ථානවල ජනයා ගැවසීම දැඩි ලෙස පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම නගරවල පොදු ස්ථාන නිරෝධායන කටයුතු ආරම්භ කර ඇති අයුරු දැක ගත හැකි වේ.
එමෙන්ම අගනුවර වන සෝල්හි මහජන උද්ඝෝෂණ පැවැත්වීම එරට රජය විසින් තහනම් කර තිබේ.
එමෙන්ම හමුදා සාමාජිකයින් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග නගරයේ සියලු හමුදා කඳවුරු වසාදමා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දකුණු කොරියාව තුළ මෙලෙස ක්ෂණික ආසාදිතයින්ගේ ඉහළ යාමක් වාර්තා වී තිබුණේ තේගුහි ෂින්චොන්ජි නම් කතෝලික නිකායේ දේවගැතිවරයෙකුගේ අවමංගල්‍යයක් සඳහා එහි අනුගාමිකයින් විශාල පිරිසක් සහභාගි වීමෙන් අනතුරුවයි.
ඊට එක්වූ 169 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මෙම තත්ත්වයත් සමග එම කතෝලික නිකායේ සාමාජිකත්වය දරන 9300 ක් පමණ පුද්ගලයින් ස්වෙච්ඡාවෙන්ම පරීක්ෂණ සඳහා යොමු වීමට ඉල්ලීම් කර ඇතැයි එරට සෞඛ්‍ය හා සමාජ සුබසාධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
අදාළ ආගමික නිකායේ තේගුහි ශාඛාවද මේ වනවිට වසාදමා තිබේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් විදේශ සබඳතා අමාත්‍යාංශය  පවසන්නේ දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව දැඩි අවධානයෙන් පසුවන බවයි.
ශ්‍රී ලාංකිකයන් 20,000 ක් පමණ දකුණු කොරියාවේ වෙසෙන අතර තේගු නගරයේ වාසය කරන ශ්‍රී ලාංකිකයින් ගණන 915 කට ආසන්න බවද එහි සඳහන්.
එරට වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට වෛරසය ආසාදනය වී නැති බව එරට තානාපති කාර්යාලය තහවුරු කර තිබෙනවා.
එමෙන්ම එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා දුරකතන අංක කිහිපයක්ද අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ.
නව කොරෝනා වෛරසයේ ආසාදිතයින් ගණන අද වන විට 78,72 ඉක්මවා ඇති අතර මරණ 2461 කි.