සිංගප්පුරුවේ සේවය කරන විදෙස් ගෘහ සේවිකාවන් අතරින් හොඳම ගෘහ සේවිකාව ලෙස කුලියාපිටියේ පදිංචිකාරියක වන 58 හැවිරිදි පානම්බරයේ ජසින්තා මහත්මිය තේරී සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති
කාර්යාංශය කියයි. සේවා ස්ථානයේදී විශිෂ්ටතම සේවයක් ඉටුකිරීම වෙනුවෙන් ඇය මෙම සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර ඒ වෙනුවෙන්  සිංගප්පූරු ඩොලර් 2000ක ත්‍යාගයක්ද හිමිවී ඇත. සිංගප්පූරුවේ රැකියා ඒජන්සිකරුවන්ගේ සංගමය විසින්  මෙම තරගය සංවිධානය කරනු ලැබ ඇති අතර පසුගිය  පෙබරවාරි 5 වැනිදා මෙම ත්‍යාගය ලැබී ඇත. වසරේ හොදම ගෘහ සේවිකාව තෝරාගනු ලබන්නේ සේවය කරන නිවසට ඔවුන් සලසන ශ්‍රම දායකත්වයේ ප්‍රමිතිය හා රැකියාව වෙනුවෙන් කරන කැපවීම මතය.

පළමුවරට 1990දී සිංගප්පුරුවේ රැකියාවට ගොස් ඇති ජසින්තා මහත්මිය ලැමේයාන් සැන්ග් නමැති සිංගප්පූරු ජාතිකයාගේ වයෝවෘද්ධ මව හා ඔහුගේ 14 හා 11 හැවිරිදි දියණියන් දෙදෙනා බලාගැනීම සිදුකර ඇත.
2007දී ඇය නැවත ලැම් පවුල වෙනුවෙන් එහි ගොස් ඇති අතර 2008දී ලැම් මහත්මියගේ ජීවිතය බේරාගැනීමේදී තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළ බවත් ලැම් මහත්මිය අසනීප වූ අවස්ථාවක ඇය වහා රෝහල් ගත කළ හැකි වී ඇත්තේ ජසින්තාගේ මැදිහත්වීම නිසා බවත් ඇයට සම්මාන පිදීම පිළිබඳව වන දැනුම්දීමේ සඳහන්වේ.

ඇය ලැම් පවුලේ පරම්පරා හතරකට සේවය කර තිබේ. 1990 අගෝස්තුවේ සිට එරට එකම හාම්පුතකු යටතේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක වන රන්හෝති පෙග්ගිලේගේ පද්මසීලි මහත්මිය ද මෙම සම්මාන උළෙලේදී කුසලතා  සම්මානයක් ලබා ඇත.

-විනීතා එම්.ගමගේ-