අර්ධ සුඛෝපභෝගී බස් රථ රාත්‍රී 7.00 සිට අලුයම 6.00 දක්වා ධාවනය කිරීමටත් දිවා කාලයේ ධාවනය නොකිරිමටත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය  මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි අර්ධ සුබෝපභෝගී බස් රථ සේවාව
පවත්වාගෙන යාම සඳහා ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල
යටතේ එම සේවාව සහ පවත්වාගෙන යන වේලාව සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

දැනට පෞද්ගලික බස් රථ 438ක් පමණ අර්ධ සුඛෝපභෝගී සේවයේ යෙදෙන බවත් සුඛෝපභෝගී සේවය යටතේ ධාවනය කිරිමට ඉන් බස්රථ 25ක්ද, බස්රථ 7ක් පමණ සාමාන්‍ය සේවාව යටතේ ධාවනය කිරීමටත් කැමැත්ත පළකර ඇති අතර සෙසු බස්රථවලටද සුඛෝපභෝගී හෝ සාමාන්‍ය සේවාව යටතේ බස් ධාවනය කිරීමට අස්ථාව තිබෙන බවද ගමනාගමන කොමිසම පවසයි.

මෙම අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව සම්බන්ධව අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) විශේෂ සාකච්ඡා පවත්වා ඇත. සාමාන්‍ය ගාස්තුව මෙන් එකහමාරක ගාස්තුවක් අයකරන අර්ධ සුඛෝපභෝගී බස්රථවලින් කිසිදු පහසුකමක් නොමැති බැවින් එම බස් රථ අහෝසි කරන ලෙස බස් මගීන්ගේ විශාල ඉල්ලීමක් පැවතිණ.

-මහින්ද නිශ්ශංක-