රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු  අමාත්‍යාංශයේත් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේත් කඹ ඇදීමක් නිසා අවසන් වරට පැවැති දෙවැනි බස ඉගැන්වීමේ ගුරු පුහුණු පාඨමාලාව අතරමග නතරවී තරුණ
තරුණියෝ 1200ක පමණ පිරිසක් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති. පැවැති ආණ්ඩු සමයේ ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මගින් ක්‍රියාත්මක වූ මෙම පාඨමාලාව ආණ්ඩු මාරුවත් සමග රාජ්‍ය පරිපාලන
හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතට ගැනීමෙන් පසු මේ තත්වය උද්ගතව ඇත.

පැවැති ආණ්ඩුවේ ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මගින් මෙම පාඨමාලාව ආරම්භ කළේ ලිඛිත හා සම්මුඛ පරීක්ෂණ පවත්වා 1200ක පමණ පිරිසක් ඒ  සඳහා තෝරා ගනු ලැබීමෙන් අනතුරුවය.  පාඨමාලා කාලයේදී රුපියල් විසි දහසක දීමනාවක් ගෙවන බව ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු  ආයතනයේ නිලධාරි පවසා තිබුණු අතර පාඨමාලාව සඳහා තෝරා පත්කර ගත් බවට එම පිරිසට යොමු කර ඇති ලිපිවල සඳහන් කර  ඇත්තේ පාඨමාලාව නිම කරන අයැදුම්කරුවන් එම ආයතනයේ සම්පත්දායකයන් හැටියට ලියාපදිංචි කරන බවය.

ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඊට අදාළ පාඨමාලාව ආරම්භ වූ නමුත් ගෙවීම් නිසියාකාරව සිදුකර තිබිණි. මේ අතර පසුගිය නොවැම්බර් මාසයේ දෙවැනි සතියේදී මෙම පිරිසට ජාතික භාෂා අධිපති හා පුහුණු ආයතනයෙන් දුරකතන කෙටි පණිවුඩයක් මගින් දැනුම් දී තිබුණේ පාඨමාලාවේ ඉදිරි කටයුතු ගැන නොවැම්බර් 25 වැනිදා දැනුම් දෙන බවය.

අදාළ පාඨමාලාවට බඳවාගැනීම ගැන යොමු කළ ලිපියේ පිට අස්සන යොදා ඇති ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ එවක අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් ආර්. හේරත් මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් එවැනි පාඨමාලාවක් ආරම්භ කළ නමුත් තමා ධුරයෙහී මේ වනවිට කටයුතු නොකරන බැවින් වැඩි විස්තරයක් නොදන්නා බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ මූලිකත්වයෙන් 2019 වසරේ සැප්තැම්බර් 10 වැනිදා
ගුරු පුහුණුව සඳහා පත්වීම් ලබාදී තමන් සේවයෙහි ස්ථිර කරන බවට පැවති රජයට පොරොන්දු දී තිබියදී මෙසේ පාඨමාලාව අතරමග නතර කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව කියමින් පාඨමාලා පුහුණුවට සම්බන්ධවූවෝ පසුගියදා ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද කළහ.

එහෙත් අතරමග නතර කර ඇති පුහුණුව සම්පූර්ණ කිරීමට පහසුකම් සලසාදීම මිස තමන් සේවයෙහි ස්ථිර කළ නොහැකි බවට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් පවසන්නේ යැයි ඔවුහු චෝදනා කරති. මෙම තත්ත්වයට නව ආණ්ඩුවෙන් විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී මානව හිමිකම් කොමිසම හමුවට ගොස් විසඳුමක් සොයා ගැනීමට අපේක්ෂා කරන්නේ යැයිද උද්ඝෝෂණට සම්බන්ධ වූ පිරිසක් පැවැසූහ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවැසුවේ පාඨමාලාව සම්පූර්ණ කිරීමේ කටයුතු තමන්ට කළ හැකි නමුත් ඔවුන් සේවයෙහි ස්ථිර කිරීමට සම්බන්ධයෙන් දේශපාලන විධායකය තීන්දුවක් ගත යුතු බවය.


-බිඟුන් මේනක ගමගේ-