ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සඳහා 'සම සභාපතිත්වයක් නම් කෙරෙනවා' යන්න හුදෙක් කටකතාවක් පමණක් වන බවත්, ඒ අනුව සිටිය හැකි එකම නායකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක මහින්ද රාජපක්‍ෂ මහතා පමණක් වන බවත් බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.


හෙතෙම මේ බව පවසා සිටියේ, බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මුලස්ථානයේදී ඊයේ (10දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වෙනත් පක්‍ෂයන්හි නායකයන් පිළිබඳ තම පාර්ශවයට අදාළ නොවන බවද ඒ මහතා සඳහන් කර සිටියේය. කෙසේවුවද ලැබෙන ඕනෑම අභියෝගයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානම් බවද පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින්,

"සම සභාපතිත්වය කියන්නේ හුදෙක් කටකතාවක් විතරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉන්නේ එකම නායකයායි. ඒ මහින්ද රාජපක්‍ෂ මැතිතුමායි. වෙනත් පක්‍ෂවල නායකයන් ගැන අපට අදාළ නෑ. අභියෝගවලට අපි බය නෑ. 113 අපට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ වගේම තමයි යහපාලන රජය අත්සන් කළ ගිවිසුම් අපි කිසිසේත්ම පිළිගන්නේත් නෑ.

එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ නව සන්ධානයට අපි නමක් යෝජනා කරනවා. ඒ තමයි 'එක්සත් ජාතික රට විනාශ කළ සන්ධානය' කියන නම. ලකුණ තමයි 'කොකා'. සැමටම කොකා පෙන්වූ පක්‍ෂය ලෙස ඒ නම අපි යෝජනා කරනවා. පාස්කු ප්‍රහාරය, මහ බැංකු කොල්ලය වගේ නැව් පිටින් ගිලපු අය ඒ කණ්ඩායමේ ඉන්නේ. සජිත් ප්‍රකාශ කළා බලය දීලා කකුලෙන් අදින්න එපා කියලා. ජනාධිපති වෙන්න බැරිවුණ සජිත්ට පුළුවන්ද අගමැති වෙන්න?" යනුවෙන් පවසා සිටියේය.

-නිදර්ශනී වික්‍රමසිංහ-