දුම්රිය ආරක්ෂක සේවයේ උතුරු - නැගෙනහිර භිර සහකාර ආරක්ෂක අධිකාරි ආනන්ද රත්නමලල මහතා පෙරේදා (26) රාත්‍රී 11.45ට පමණ එල්ල වූ පෙට‍්‍රල් බෝම්බ ප්‍රහාරයකින් බරපතළ පිළිස්සුම් තුවාල ලබා
අනුරාධපුර  ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය කියයි. අනුරාධපුර දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි සිය කාර්යාල පරිශ්‍රයේ නිදා සිටියදී විවෘතව තිබු ජනේලය තුළින් කාමරය තුළට කිසිවකු පෙට්‍රල් බෝම්බයක් විසිකර තිබෙන බව මේ සමබන්ධයෙන් අනුරාධපුර පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. කාමරය තුළ පෙට්ට්‍රල් බෝම්බය පුපුරා සිය සිරුරට ගිනි ගනිද්දී නින්දෙන් අවදි වී තිබෙන රත්නමලල මහතා යාබද නාන කාමරය තුළට දිව ගොස් ජල කරාමය විවෘත කර සිරුරට ඇවිලුණු ගින්න නිවාගැනීමට සමත් වී තිබිණි.

ඉන් අනතුරුව සිය කාමරය පුරා පැතිරුණු ගින්නද නාන කාමරයෙන් ලබාගත් ජලය ඉස නිවා දැමීමෙන් පසු කාර්යාල පරිශ්‍රයෙන් පිටතට පැමිණ ඇති රක්නමලල මහතා ඒ ආසන්නයේ තිබෙන දුම්රිය නිල නිවාසයේ පදිංචිව සිටින දුම්රිය ආරක්ෂක අංශයේ සැරයන්වරයකුට කතා කර ඔහු අවදි කරවාගෙන සිදු වූ දේ ඔහුට පවසා තමන් ඉක්මණින් රෝහලට රැගෙන යන්නැයි ඉල්ලා ඇත. එම සැරයන්වරයා දිස්ත්‍රික් දුම්රිය මාර්ග පරික්ෂක සී.පී.පී. දිසානායක මහතාට දැනුම්දීමෙන් පසු වහා පැමිණි දුම්රිය ආරක නිලධාරින් කිහිප දෙනකු රක්නමලල මහතා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබිණි.

මේ ගැන පරික්ෂණ සිදුකරන අනුරාධපුර පොලිසියට අනාවරණය වී ඇත්තේ අනුරාධපුර දුම්රිය නිල නිවාස සංකීර්ණයට යාබද දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක අනුරාධපුර මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක් බලහත්කාරයෙන් නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් රත්නමලල මහතාගේ උපදෙස් මත දුම්රිය ආරක්ෂක නිලධාරින් අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක් කර පරික්ෂණයක්ද ආරම්භ කර තිබූ බවයි. ඒ පැමිණිල්ල කිරීම සම්බන්ධයෙන් රත්නමලල මහතාට ඇතැමුන්ගෙන් තර්ජන එල්ල වූ බවත්, ප්‍රදේශයේ දේශපාලන බලවතෙක් දුම්රිය සාමාන්‍යධිකාරිවරයාට පෙරේදා දුරකතන ඇමතුමක් ලබාදී එම නිවස ඉවත් කිරිමට කටයුතු නොකරන්නැයි ඉල්ලා තිබූ බවත් මූලික පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහානාම මහතාගේ මෙහෙයවීම යටතේ මේ ගැන වැඩිදුර පරීක්ෂණේ සිදුකෙරේ.  මේ අතර, මේ සිද්ධිය වාර්තා වූ සැනින් සිද්ධිය වූ ස්ථානයට ගොස් ප්‍රදේශයේ  මාධ්‍යවේදීන් වාර්තා කිරීමේ නිරතව සිටියදී එම ස්ථානයට පැමිණි අනුරාධපුරයේ පොලිස් ප්‍රධානියකු මාධ්‍යවේදීන්ට එතැනට පැමිණීමට ඉඩදීම ගැන පරික්ෂණ සිදුකරමින් සිටි පොලිස් නිලධාරින්ට සිය නිල රථයේ සිටම බැණ වැදී සිද්ධිය වාර්තා කිරීමට ඉඩ නොදීමට හේතුව කුමක්දැයි විමසීමට මාධ්‍යවේදීන් එම පොලිස් ප්‍රධානියාගේ නිල රථය ළගට යද්දී ඔහු එය පණ  ගන්වාගෙන එතැනින් පිටව ගියේය. කෙසේ වෙතත් ඔහු පැමිණ පොලිස් නිලධාරීන්ට බැණ වැදීමට පෙර මාධ්‍යවේදීන්  ප්‍රවෘත්තිය අදාළ ඡායාරූප හා රූප රාමු බොහෝමයක් ලබාගෙන තිබුණි.
-අතුල බණ්ඩාර-