ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු  153ක් සඳහා නව විදුහල්පති පත්වීම් ප්‍රදානය කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශයේදී අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මූලිකත්වයෙන්
පසුගියදා මෙම පත්වීම් ප්‍රදානය සිදු කෙරිණි. මෙරට පාසල් පද්ධතිය තුළ මේ වනවිට ජාතික පාසල් 373ක් පවතින අතර, එයින් පාසල් 278ක නියමිත ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් මෙතෙක් පත්කර නොතිබිණි.

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට අදාළව පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසයන්හි සිදුකරන ලද සම්මුඛ පරීක්‍ෂණ අනුව රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේද අනුමැතිය ඇතිව විදුහල්පතිවරුන් 153ක් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ. මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, අධ්‍යාපන ලේකම් එම්.එච්.එන්. චිත්‍රානන්ද මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 -ෂවින්ද්‍යා එරන්දතී-