පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ දැනට වී වගා කළ නොහැකි කුඹුරු ඉඩම්වල අතිරේක භෝග වගා කිරීමේ වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය හෙට (13දා) දින පැවැත්වෙන බව කෘෂිකර්ම
නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ රට දියුණු කිරිමේ වැඩපිළිවෙළට අනුව විෂය භාර අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත පුරන් කුඹුරු හඳුනාගැනීමේ වැඩපිළිවෙළ කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරීන් ආරම්භ කර ඇතැයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ශාන්ත අතපත්තු මහතා පැවසීය.

ඒ අනුව දැනට වී වගා කළ  නොහැකි කුඹුරු ඉඩම්වල අතිරේක භෝග වගා කිරීමේ ව්‍යාපෘතියක්ද සකස් කර තිබෙන බවත්, එම වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය හෙට දින උදෑසන 9.00ට විෂය භාර අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල,  මාවතගම, මැටිබොක්ක යාය ප්‍රදේශයේදී ආරම්භ කරන බවත් ඒ මහතා පවසා සිටියේය.

මෙහිදී හඳුනාගත් කුඹුරු ඉඩම්වල අන්නාසි, බඩඉරිඟු, ධාන්‍ය වර්ග, එළවළු වර්ග හා පලතුරු වර්ග වගා කරීම සිදුකරන බවත්, මෙම යායේ අක්කර හයක භූමියක් ජාතික ආදර්ශ ගෙවත්ත ලෙස නම් වන බවත් ශාන්ත අතපත්තු මහතා සඳහන් කළේය.  මෙම වැඩපිළිවෙළ සෑම  දිස්ත්‍රික්කයකම ක‍්‍රියාත්මක කිරීමට රජය විසින් 2020/1 නමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බවත්, ඒ අනුව ඉඩම් හඳුනාගැනීම ආරම්භ කර තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

-එච්.අයි.තුෂාර-