නව කොරෝනා රෝග ලක්ෂණ ඇතැයි සැකකරන තරුණියක් ඊයේ (05දා) සවස බදුල්ල මහ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරිණි. මෙලෙස රෝහල්ගත කෙරුණේ, 22 හැවිරිදි මොනරාගල, බුද්ධම ප්‍රදේශයේ පදිංචි තරුණියකි. නව කෙරෝනා වෛරස් ආසාදනයට ලක්වූ බවට සැකකෙරෙන තරුණිය පසුගිය ජනවාරි 29 වැනිදා ලංකාවට පැමිණි අයෙකු බවත්, 2018 දී චීනයට ගොස් එහි ප්‍රාන්ත සරසවියක අධ්‍යාපනය ලබමින් සිටි අයෙකු බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.




උණ රෝගී තත්වයක් හා උගුරේ වේදනාව වැනි රෝග ලක්ෂණ හේතුවෙන් සියඹලාණ්ඩුව රෝහලට ඇතුළත් කෙරුණු ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහලට මාරුකර යවා තිබේ. සුවසැරිය ගිලන් රථයකින් ආරක්ෂිතව රෝහලට කැඳවා ගෙන ආ ඇය ආරක්ෂිත ඇඳුම් කට්ටලකින් සැරසී සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා විසින් ආරක්ෂිත පිවිසුමකින් විශේෂ ප්‍රතිකාර ඒකකයට කැටුව යන ලදී.

මෙම රෝගී තත්ත්වය කොරෝනා වෛරස් ආසාදනය බවට මෙතෙක් කිසිසේත් තහවුරු කර නොමැති බැවින් මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කිසිදු අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස බදුල්ල පළාත් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරි වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා දන්වා සිටියි. මෙම රෝගියා වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කොළඹට යොමුකරන තෙක් බදුල්ල පළාත් මහ රෝහලේ මේ සඳහා විශේෂයෙන් වෙන්කර ඇති මූලික පහසුකම් සහිත වාට්ටුවේ රඳවා පරීක්ෂා කිරීම් සිදුකෙරෙන බව වෛද්‍ය රාජපක්ෂ මහතා පැවසීය.

මේ අතර චීනයේ අධ්‍යාපන කටයුතුවල යෙදී සිට නිවාඩුවකට දිවයිනට පැමිණ සිටි තරුණියක ඊයේ (05දා) සවස මීරිගම රෝහලට ඇතුළත් කර ඇත. මීරිගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක මෙසේ රෝහල්ගත කරනු ලැබ ඇත.මෙම තරුණිය පසුගිය ජනවාරී (05දා) දිවයිනට පැමිණ ඇති අතර අසනීප තත්වයක් ඇතිවීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.

-පාලිත ආරියවංශ-