ජයග්‍රහණය කළ හැකි පිරිස සඳහා නාමයෝජනා ලබාදීමේ වගකීම නාමයෝජනා මණ්ඩලය සතු බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ
කර සිටියේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (12දා) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

"මැතිවරණයක් ළං වෙනකොට එක්වීමේ සහ දික්කසාද වීමේ කරුණු ගණනාවක් සිද්ධ වෙනවා. නාමයෝජනා කණ්ඩායම් දාපුවාම ඉතාමත්ම ජනප්‍රිය දේශපාලන කණ්ඩායමේ කිහිප දෙනෙක් බැහැර වෙනවා. ඒක තමයි ඉතිහාසය පුරාම සිදුවෙලා තියෙන්නෙ. මොකද ඒ ජනප්‍රියතාව නිසාම 15 නම් ගන්න පුළුවන් 30ක් ඉදිරිපත් වෙනවා. ජනප්‍රියතාවක් නැති අයට 15ට 8යි එන්නේ. ඉතුරු 7 ගිහින් හොයාගන්න ඕන. එතකොට ජනප්‍රිය කණ්ඩායමට ඒ පීඩනය එනවා.

මං උදාහරණයක් කියන්නම්කො. යම් රජයක් පැරදිලා තව රජයක් පත් වෙනකොට පළාත් පාලන එකට හොයාගන්න කට්ටිය නෑ. ජයග්‍රහණය කළාම මහලේකම්ගේ කාමරය ඉස්සරහා නිදාගන්නවා මට දුන්නෙ නැත්තම් මං වහ
බොනවා කියලා. බොහොම සරලයි. ඒ නිසා ජනප්‍රිය දේශපාලනයට නාමයෝජනා දෙනකොට ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. සියලු දෙනා සතුටු කරන්න හැකියාවක් ඇත්තෙත් නෑ.

මහනුවර අපට ෆයිල් කරන්න පුළුවන් දහහතර දෙනයි. දහහතර දෙනා මං හිතන්නේ මේ වෙනකොට 140ක් විතර ඉල්ලලා තියනවා. දිනන්නම පුළුවන් 14 තෝරාගැනීමේ වගකීම තමයි නාමයෝජනා මණ්ඩලයට තියෙන්නේ. ඉතිං ඒ අතරතුරේ ඒ 14 දෙනාම දිනන්නේ නෑ කියලා දන්න නිසා දිනන්න පුළුවන් අය නියත වශයෙන්ම දාලා අර දිනන්න බෑ මෙච්චරයි පුළුවන් කියන අයට තව ඉතිං හිතවත්කම් බලලා තව දේශපාලන පක්‍ෂවලින් එකතු කරගන්න ඕන නම් තවත් එකතු කරගන්න පුළුවන්.

අනිත් කාරණය තමයි දේශපාලනයේ යම් සිදුවීම් එක්ක දේශපාලන පසුබිම සහ දේශපාලන සටන් බිම වෙනස්කම් සිද්ධ වෙනවා. අපි ඒ වෙනස්කම්වලට උත්තර දුන්නේ නැත්තම්, අපි ඒ වෙනස්කම් තේරුම්ගත්තේ නැත්තම්, ඒ වෙනස්කම්වලට හරියන විදියේ පසුබිම අපි සකස් නොකරනවා නම්, අපි පරාජිතයන් බවට පත් වෙනවා. ඉලක්කය විය යුත්තේ ස්ථාවර ආණ්ඩුවක්. ඒ ස්ථාවර ආණ්ඩුව හදන්න ඕන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබෝධයටම නෙවෙයි. රට ඉදිරියට ගෙනියන්න. රටේ සංචාරක ව්‍යාපාරය, රටට ආයෝජකයන් ගෙන ඒම වගේ වැඩපිළිවෙළදී ස්ථාවර ආණ්ඩුවක් සහ රාජ්‍ය ආරක්‍ෂාව පළමුවැනි කරුණු දෙක වෙනවාමයි. ඒ නිසා අපට අවශ්‍ය වෙන්නේ දැඩි ස්ථාවර ආණ්ඩුවක් හදන්න හොඳම අත්තිවාරම දැමිය හැකි හොඳම කණ්ඩායම මේ තරඟ බිමට ඉදිරිපත් කිරීම” යනුවෙන්ද පවසා සිටියේය.

- ෂවින්ද්‍යා එරන්දති -