මල්ලි ජිවත් වෙන්න ලොකු සටනක් කරගෙන ගිය කෙනෙක්. රැයක් දවාලක් නොබලා රස්සාව කළේ දරු පවුල රැක ගන්න සැලකිය යුතු ආදායම් මාර්ගයන් නොමැති නිසයි. මේ අවාසනාවන්ත අනතුර නිසා මාස දෙකක දුවත්, මල්ලිලගෙ නෝනාත් ඉතා අසරණ
තත්ත්වයට පත්වුණා යැයි අතුරුගිරිය තලවතුගොඩ ප්‍රදේශයේදී ඉකුත් 18 වැනි දින රාත්‍රී රංගන ශිල්පී කාවිංග පෙරේරාගේ මෝටර් රථයේ ගැටීමෙන් මාර්ග සංවර්ධන නඩත්තු සේවකයෙකු වන මීගහතැන්න වෙලපහළ,  මාවතවන්ත ප්‍රදේශයේ පදිංචි ගම්මන ලියනගේ වසන්ත උදය කුමාර නමැති හතළිස් දෙහැවිරිදි එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ සොයුරිය වන ගම්මන ලියනගේ චන්ද්‍රලතා මහත්මිය පැවසුවාය. තලවතුගොඩ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට පදික මාරුවේ නඩත්තු කටයුතු සිදු කරමින් සිටියදී එදින රාත්‍රී 12.40 ට  පමණ අනතුර සිදු කර ඇති බවත්, අනතුරට ලක්වී බරපතළ තුවාල ලැබූ අය රෝහලට ඇතුළත් කළ ද ඒ වන විටත් මියගොස් තිබූ බවත් රෝහල් ආරංචිමාර්ග පවසයි.


චන්ද්‍රලතා මහත්මිය මෙසේද පැවසුවාය
 “අනේ මගේ මල්ලි හරිම අහිංසකයෙක් බව ගමේ හැමෝම දන්නවා. මේ දුක අපේ පවුලේ අයට වාව ගන්න බෑ. බීමත්කම නිසා මේ රටේ සිදුවන අනතුරුවලින් පවුල් කීයක් අනාථ වෙනවාද. දැන් අපිට මල්ලි අහිමි වෙලා ඉවරයි. ඒත් මේ දේ තවත් කෙනෙකුට නොවන්නට උපරිමයෙන් නීති ක්‍රියාත්මක කළ යුතු යැයි අපි ඉල්ලා සිටිනවා".  සිද්ධියෙන් මරණයට පත් වූ අයට මාස දෙකක් වයසැති දියණියක ද සිටින අතර,සිද්ධිය වූ ස්ථානයේ සිටි මිය ගිය අයගේ වැඩිමහල් සොයුරු වන ගම්මන ලියනගේ නිලන්ත මහතා මෙසේ පැවසීය.

මියගොස් සිටින මගේ මල්ලි සහ මම පෞද්ගලික ආයතනයට අනුයුක්තව මාර්ග සංවර්ධනයේ වැඩ කළේ. ඒ වෙලාවෙ අපි ෂෙඩ් එක ඉස්සරහ පදික මාරුවේ තීන්ත ආලේ කරමින් සිටියේ. අපි හත් දෙනෙක් පමණ එම ස්ථානයේ නඩත්තු කටයුතු කරමින් සිටියා. මම පදික මාරුව ලකුණු කරද් දී මදක් ඉදිරියට ගිහින් අනිත් වැඩ කටයුතු සොයා බලද්දී එක පාරටම මල්ලි මෝටර් රථයේ වැදුණු සද්දේ ඇසුණාය.  ඒ සමගම මම මල්ලි ළඟට දුවගෙන ගියා. එවිටම මෝටර් රථය පලා ගියා. එතැන සිටි පිරිසක් මෝටර් රථයේ පසුපස හඹා ගොස් අල්ලාගෙන තිබෙනවා. අනතුරේ දී මෝටර් රථයේ යම් ආබාධයක් සිදු වී ඇති බැවින් වේගයෙන් යන්න බැරි වී තිබෙන බවත් එසේ නොවන්නෙට මෝටර් රථය පලා යන බවත් දැනගන්න ලැබුණා.

පසුව දැන ගත්තේ අනතුර සිදු කළ අය රංගන ශිල්පියෙක් කියලා. ඔහු බීමත්ව සිටි බව වෛද්‍ය පරික්ෂණවලදී සනාථ වූ බව ද දැනගක්නට ලැබුණා. මල්ලි බොහොම අහිංසක චරිතයක්.  එයාගෙ දුවට මාස දෙකයි වයස. ලොකු අපරාධයක් උනේ. බීමත්ව මෙවන් අනතුරු කරන සෑම කෙනෙකුටම තරා තිරම නොබලා උපරිම දඬුවම් දිය යුතුයි " මිය ගිය අයගේ බිරිඳ තම සැමියා අහිමි වූ කම්පනය නිසා කිසිවක් ප්‍රකාශ කරගත නොහැකිව සිටියාය. අනතුරින් මියගිය අය නිරතුරුවම අසල්වාසීන් සහ ප්‍රදේශවාසීන් ද සමග ඉතා සුහදව කටයුතු කළ, කිසි කෙනෙකුට වරදක් නොකළ අයකු බව ප්‍රදේශවාසීහු බොහෝ දෙනෙක් පවසා සිටියහ.