පොලිසියට අනුයුක්තව පොලිස් කොස්තාපල් රියැදුරෙකු ලෙස සේව්ය කළ ජයන්ත රාජපක්ෂ නිලධාරියාගේ පැහැරගැනීම ගෙවී ගිය සතියේ අසන්නට ලැබුණු ශෝකීජනක පුවතකි. විරකැටිය, කුඩා බිබුල ප්‍රදේශයේ විසූ 37 හැවිරිදි කොස්තාපල් රාජපක්ෂ සහෝදරයන් සිවුදෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනියායි. 2013 වසරේදී රාජපක්ෂ පොලිස් සේවයට එක් වූයේ
විවාහකයන් මෙන්ම වෙනත් රැකියාවල නියුතුව සිටියවුන්ට පොලිස් රියැදුරන් ලෙස එක් වීමට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමිනි.
අට හැවිරිදි සහ තුන් හැවිරිදි පුතුන් දෙදෙනෙකුගේ පියෙකු වන කොස්තාපල් රාජපක්ෂ පසුගිය 17 වැනිදා රාත්‍රියේ 1.20ට පමණ පැහැර ගැනිණි. ඒ, කිරිබත්ගොඩ හුනුපිටිය පාරේ පිහිටි හෝටලයක කාන්තාවක සමග සිට මාර්ගය අසලට පැමිණීමෙන් අනතුරුවය.
කොස්තාපල්වරයාගේ පැහැරගැනීම වූ මොහොතේත්ම බස්නාහිර උතුර පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් එහි විම ර්ශන කටයුතු බාර කෙරුණේ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයටයි. පෑලියගොඩ කොට්ඨාස බාර පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායමක් කොස්තාපල් රාජපක්ෂ සෙවීමේ සූක්ෂ්ම මෙහෙයුමක් ආරම්භ කෙළේය.
ඒ අනුව පසුගිය 21 වැනිදා පෙරවරුවේ කපාකොටා ඝාතනය කර තිබූ රාජපක්ෂයගේ සිරුර පන්නල බුළුගොඩ ප්‍රදේශයේ ළඳු කැලෑවක තිබී සොයා ගැනීමට විමර්ශන නිලධාරිහු සමත් වූහ. රාජපක්ෂ ගේ පැහැරගැනීමත් සමඟ පෑලියගොඩ අපරාධ විමර්ශන ඒකකයේ බාරයට ගත් රාජපක්ෂ සමග සිටි පත්මිණි නමැති කාන්තාව සහ ඔවුනට කෑම රැගෙන පැමිණි පත්මිණිගේ ඥාති දියණියක වන කෝකිලාගේ පාපෝච්චාරණය අනුව රාජපක්ෂ පැහැර ගැනීමේ සිද්ධිය හෙළි කර ගැනිමට හැකි විය. එම කතාන්දරය පෙළ ගැසෙන්නේ මෙලෙසිනි.

පත්මිණි අවුරුදු 47ක කාන්තාවකි. වත්තල ප්‍රදේශයේ වෙසෙන ඇය තරමක වත්කමක් සතු කාන්තාවකි. සුඛෝපභෝගි
මෝටර් රථයක්ද හිමි ඇයගේ ස්වාමියා නිලන්ත බන්ධනාගාරගතව පසු වෙයි. ඒ, මන්ද්‍රව්‍ය ජාවාරමකටය. පත්මිණි සියලු වත්කම් උපයා ඇත්තේ මන්ද්‍රව්‍ය ජාවාරමෙන් බවට හෙළි වේ. ඇයට දරුවන් දෙදෙනෙකි. 20 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා බන්ටි නමින් හඳුන්වයි. පත්මිණිගේ නිවසේම වෙසෙන සිය නැගණියගේ පුත්‍රයා සුද්දාය. ඔහු 23 හැවිරිදි අයෙකි. සුද්දා සහ බන්ටි අයිස් මන්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූ දෙදෙනෙකි.
මීට වසර තුනකට පමණ පෙරදී සුද්දා රථවාහන වරදකට පොලිසියට හසු විය. එදින සුද්දා සහ රාජපක්ෂ රාලහාමි අතර මිත්‍රත්වයක් ගොඩනැඟිණි. නිලධාරියා සමඟ ඇති කරගත් එම මිත්‍රත්වය නිසා නඩු නිමිත්තකින් තොරව සුද්දා වරද ගොඩින් බේරාගෙන ඇති බවටද හෙළි වේ.
අනතුරුව රාජපක්ෂ රාලහාමි වත්තල පිහිටි සුද්දලාගේ නිවසට යෑමටඑමට පටන්ගත් බව කියැවේ. සුද්දා පන්නල වෙසෙන අයෙකු වුවත් ඒ වන විට විසූවේ වත්තල පිහිටි සිය ලොකු අම්මා වූ පත්මිණිගේ නිවෙසේයි.
සුද්දාගේ ලොකු අම්මාද විනෝදයට බර මත්පැනට ලොල් කාන්තාවකි. දිනක් නිවෙසට පැමිණි පොලිස් නිලධාරියා අමතා සුද්දා පවසා ඇත්තේ “අපේ ලොකු අම්මා ෆන් ගන්නවා.. දවසක සෙට් වෙමුද.."කියාය
ඒ අනුව දිනක් සුද්දා, රාජපක්ෂ, පත්මිණි සහ බන්ටි ඇතුළු පිරිස මත්පැන් සාදයක් පවත්වා තිබිණි. එම සාදයෙන් පසු රාජපක්‍ෂ සහ පත්මිණි අතර කිසියම් ශාරීරික සබඳතාවක් ගොඩ නැඟිණි. එලෙස දෙදෙනා අතර ගොඩනැගුණු සබඳතාව මත පත්මිණි සිය මත් ජාවාරමට රාජපක්ෂ රාලහාමිගේ ද සහාය ලබාගෙන ඇත. ඒ අනුව රාජපක්ෂ, පත්මිණිගේ මුදල් පරිපාලන කටයුතුවලට අත ගසා ඇත්තේ පවුලේ කෙනෙකු ආකාරයකටය.
ඒ වන විට පත්මිණිගේ ස්වාමියා නිලන්ත මත් ජාවාරමකට වරදකරු වී බන්ධනාගාරගතව සිටියේය.
එසේ කල් ගෙවෙද්දී දිනක් බන්ටි සහ සුද්දා මන්ද්‍රව්‍ය පානයට අවැසි මුදල් පත්මිණිගෙන් ඉල්ලූ විට ඔවුන් දෙදෙනාට මුදල් ලබා දී ඇත්තේද රාජපක්ෂගේ අනුදැනුම මතයි. ඒ හේතුවෙන් සුද්දා සහ බන්ටිට මුදල් ප්‍රශ්නය මතු විණි.
නිවෙසේ තිබූ මෝටර් රථය එතෙක් පාවිච්චි කළේ බන්ටි විසිනි. එහෙත් පසුව එම රථයද රාජපක්ෂ රාලහාමිගේ බාරයට පත් විය.ඒ අතරේ රාජපක්ෂට අධික මිලකින් යුත් යතුරුපැදියක්ද පත්මිණි මිලදී ගත්තාය. එසේ පොලිස් නිලධාරියා සුරසැප ලබද්දි බන්ටි සතුව තිබූ ත්‍රිරෝද රථයේ ලීසිං වාරිකද නොගෙවීම නිසා හිග වාරික කිහිපයක්ම එකතු වීමෙන් බන්ටි මහත් ගැටලුවකට මුහුණ දී සිටියේය.
එවැනි සිදුවීම් සමහ සුද්දා, බන්ටි දෙදෙනා රාජපක්ෂ රාලහාම් සමග විරසකයකට මුල පිරීය.
නිවෙසේ වන සිදුවීම් අකුරක් නෑර බන්ටි බන්ධනාගාරයේ පසුවන පියාට පැවසීය. අනතුරුව පියා පවසා තිබුණේ,
"යකෝ... උඹලා පිරිමි ද? ඕකව ගෙදරට ගන්නේ ඇයි... එළවලා දාපන්.."
ඒත් සමහ බන්ටි සහ සුද්දා පොලිස් නිලධාරියාට එරෙහිව නැඟී සිටින්නට වූහ. එසේ හැළහැප්පිලි මැද කාලය ගත වෙද්දී පසුගිය 16 වැනිදා ගැටුමක් ඇති වී තිබුණේ බන්ටි සහ සිය මව පත්මිණි අතරයි. ඒ පත්මිණිට පහරදිමට බන්ටි පැමිණීමත් සමඟයි. 16 වැනිදා රාත්‍රියේ වූ එම ගැටුම ගැන පත්මිණි ඇමැතුමක් ගෙන දන්වා සිටියේ රාජපක්ෂ රාලහාමිටය.
ඒ අවස්ථාවේ පොලිස් නිවස්නයේ විවේක සුවයෙන් කල් ගෙවූ රාජපක්ෂි ක්ෂණයෙන් ගොස් තිබුණේ පත්මිණි විසූ වත්තල නිවෙසටයි. එම නිවෙස ඩී. මංජු නමින් ප්‍රකටව සිටි වත්තල ප්‍රදේශයේ ප්‍රබල පාතාල අපරාධකරුවාගේ නිවෙසයි. 2018 වසරේ පෙබරවාරි 23 වැනිදා ඩී. මංජු පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රහාරයකින් මරණයට පත්වීමෙන් පසු එම නිවෙසේ වෙසෙන්නේ ඔහුගේ බිරිය කෝකිලායි. ඇයට, පත්මිණි ඥාතිකමින් නැන්දණියයි. පොලිස් නිලධාරියා සහ පත්මිණි නිවෙසේ වූ මොහොතේ පැමිණි තිබුණේ බන්ටි සහ සුද්දයි. පත්මිණි සහ පොලිස් නිලධාරියා නිවෙසේ සැඟවී සිටියදී පුතුන් දෙදෙනා කෑකෝගසා මඳ වේලාවකින් යන්නට ගොසිනි. එසැණින් කෝකිලා සිය නැන්දණියට කියා ඇත්තේ, “නැන්ද.. දැන් මෙහෙන් යන්න නැත්නම් අරුන් ආයෙත් ඇවිත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. " කෝකිලා එසේ කීමත් සමඟ පත්මිණි, රාජපක්ෂ සමඟ රාත්‍රී එකට පමණ කිරිබත්ගොඩ, හුනුපිටිය මාර්ගයේ හෝටලයකට ගොස් නතර වී තිබේ. හෝටලයට ගොස් මඳ වෙලාවකින් පත්මිණි ඇමැතුමක් ගෙන කෝකිලාට කීවේ,
"දුවේ.. හරිම බඩගිනියි.. මේ හරියේ කෑමට දෙයක් ගන්න තැනක් නෑ.. ඔයාට පුළුවන්ද මොනවහරි ගෙනත් දෙන්න..."
ඊට ප්‍රතිචාර දක්වමින් රොටි වැනි ආහාරයක් ගෙන කෝකිලා සිය බාල සොහොයුරා සමඟ ස්කුටි යතුරුපැදියක නැඟී දෙදෙනා නැවතී සිටි හෝටලය කරා ගොස් ඇත. ඒ අතරේ පත්මිණි, රාලහාමිට කියා ඇත්තේ,
“දැන් දුව කෑම අරන් එනවා කීවා....

ඔයා හෝටලේ ළඟින්ම කෑම ගත්තොත් පුතාලා අපි ඉන්න තැන දැනගනිවි... ඒක නිසා ටිකක් ඉස්සරහට ගිහින් කෑම ටික ඉල්ලගන්න..“
ඒ අනුව නැවතී සිටි හෝටලයේ සිට මීටර් සියයක් පමණ ඉදිරියට පයින් ගමන් කරමින් සිටියදී කෑම රැගෙන පැමිණි කෝකිලා හමුවී කෑම ලබාගත් රාජපක්ෂ නැවතත් හෝටලයට ගමන් කිරීමට සැරැසුණා පමණි. ක්ෂණයකින් පැමිණියේ ත්‍රිරෝද රථයකි. ඊට මාර්ගයේ ගමන් කරමින් සිටි රාජපක්ෂිව බලෙන්ම නංවාගෙන යන ආකාරය අසල සීසීටීවී කැමරාවකද සටහන් වී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි විණි.
17 වැනිදා පාන්දර 1.20ට පමණ එසේ පස්දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් විසින් පැහැරගත් රාජපක්ෂ ගැන පරීක්ෂණ කළ නිලධාරින්ට පොලිස් බාරයට ගැනුණු පත්මිණි හෙළිදරව්වක් කළාය. දිනක් සුද්දා පවසා ඇත්තේ, “ ලොකු අම්මෙ.. ඔය රාලහාමි මට පාට් එකක් දැම්මොත්... දන්නවනේ මගේ හැටි. මං නම් කරන්නෙ පන්නල පැත්තට අරන් ගිහින් කැලේකට දානවා... ආයෙත් ජීවිතේකට එන්න බැරි වෙන්න..“
පොලිස් බාරයේ පසු වන පත්මිණි ඒ බව පොලිසියට පැවැසීමත් සමඟ රාජපක්ෂ පැහැරගෙන පන්නල ප්‍රදේශයට රැගෙන යන්නට ඇති බව සැක පළ වීමත් සමඟ පොලිස් නිලධාරීහු පන්නල සුද්දාගේ නිවෙසටද ගියහ. ඒ අනුව පසුගිය දින කීපයේ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් සහ කුලියාපිටිය පොලිස් නිලධාරීන් දිවා රෑ වෙහෙසුණේ රාජපක්ෂ ගැන හෝඩුවාවක් සොයා ගැනීමටයි. ඒ පන්නල කංකානියමුල්ල රක්ෂිතය සහ ඒ අවට පොල් වතු පීරමිනි. එහෙත් ඔවුනට සොයාගැනීමට හැකි වූයේ රාජපක්ෂ පැලඳ සිටි බවට සැක කළ පාවහන් යුගලය සහ මිනිස් ලේ පැල්ලම් කීපයක් පමණි. කුලියාපිටිය පොලිස් නිල සුනඛ විකී සහ ලෑක්ද යොදවා විමර්ශන සිදු කළත් කිසිදු හෝඩුවාවක් නොවිණි.
ඒ අතරේ පොලිස් නිලධාරීන් රාජපක්ෂ පැහැරගත් දින රාත්‍රියේ සුද්දා සමඟ දුරකතන සංවාදයක් කළ කඳානේ නාගොඩ වෙසෙන සුද්දාගේ බාප්පාගේ පුත්‍රයා පොලිස් බාරයට ගනු ලැබීය. නිලධාරීන් ඔහුට කීව්වේ සුද්දාට ඇමැතුමක් ගන්නා ලෙසයි. ඒ අනුව සුද්දා එම ඇමැතුමට කීවේ,
"මගේ අතේ සල්ලි නෑ බං.. දහයක් හෝ පහළොවක් දාපන්.. මං එකවුන්ට් නම්බර් එකක් එවන්නම්..."
සුද්දා එවූ එම ගිණුම් අංකයට අදාළ පදිංචි ලිපිනය සොයා ගැනීමට පොලිසිය සමත් විය. ඒ රාජපක්ෂ ඝාතනය කොට තිබූ පන්නල, බුළුගොඩ ප්‍රදේශයේ නිවේසකි. එම නිසා සුද්දාගේ මිත්‍රයෙකු වන සංජුගේ නිවෙසයි. සංජුද මත්කුඩු ජාවාරම්හි නිරත අපරාධකාරයෙකි. 20 වැනිදා හඳුනාගත් එම නිවෙසට 21 වැනිදා පාන්දර පහට පමණ පොලිසිය කඩා පැන්න අතර ඒ මොහොතේ සුද්දා සහ සංජු නිවෙසේ සිටියහ.
දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ සංජුගේ නිවෙසේ සිට මීටර් 750ක් පමණ දුරින් පිහිටි ලඳු කැලෑවක තිබී කපා-කොටා ඝාතනය කළ රාජපක්ෂගේ සිරුර සොයා ගැනීමට හැකි විය. විමර්ශන සිදුකරන පොලිස් නිලධාරියෙක් කිව්වේ, එකී ඝාතනය පත්මිණිගේද අනුදැනුම මත සිදු කළ ඝාතනයක් ලෙසද සැක කෙරෙන බවත් ඉදිරි විමර්ශන අනුව සියලු තතු හෙළි කරගැනීමට හැකි වන බවයි.

අමිල මලවිසූරිය