ග්‍රාම නිලධාරි කාර්යාල පරික්ෂා කිරීමේ මෙහෙයුම් රටපුරා  ක්‍රියාත්මක කිරිමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු  අමත්‍යාංශයේ විමර්ශන අංශය පියවර ගෙන ඇත. මෙම අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි
මහතාගේ උපදෙස් මත පෙරේදා (10) කොළඹ දිස්ත්‍රිකයේ ග්‍රාම නිලධාරි කාර්යාලවලට කළ හදිසි මෙහෙයුමකින් පසු මෙම මෙහෙයුම් දීප ව්‍යාප්තව සිදු කිරීමට තීරණය කළ බව අමාත්‍යාංශය පවසයි.


කොළඹ දිස්ත්‍රික්කයේ පෙරේදා කළ මෙහෙයුමේදී නියමිතව වේලාවට රාජකාරියට නොපැමිණෙන ඇතැම් ග්‍රාම නිලධාරීන්ට පිළිබඳව තොරතුරු හෙළි වූ බව විමර්ශන නිලධාරින් ඊයේ (11) පැවැසීය. කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි කාර්යාල 500 කට අධික සංඛ්‍යාවක් අතරින් 200 ක් පමණ මෙම විමර්ශනයට ලක් වූ බවද නියමිත රාජකාරි වේලාවට නොපැමිණීම හේතුවෙන් සේවා ලබා ගැනීමට පැමිණි සිය ගණනකට එම කාර්යාලවල රස්තියාදු විමට සිදුවූ බවද එම නිලධාරියා කීය. ඉදිරියේදී මෙම මෙහෙයුම් කඩාපනින හමුදාවක් ලෙස ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය තීරණය කළ බවද එම නිලධාරියා කීය.

බොහෝ ග්‍රාම නිලධාරින් අපහසුතා මධ්‍යයේ රාජකාරි කරන බවද ඇතැමුන්ට කාර්යාල පහසුකම් මෙන්ම සනීපාරක්ෂක පහසුකම් පවා තිබී නැතැයිද මෙහිදී අනාවරණය වූ බව එම විමර්ශන අංශය පවසයි.
රටපුරා ප්‍රාදේශිය ලේකම් කාර්යාල 332 ක් යටතේ ග්‍රාම නිලධාරිහු 14022 ක් සේවයේ යෙදී සිටීති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම පරික්ෂා කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද සඳහන් වේ.

-ජයන්ත සමරකෝන්-