තම අත දරුවාගේ විනෝදය සඳහා සුරතලයට ඇති කළ මාස හයක් පමණ වයසැති “රිච්බෑග්” වර්ගයට අයත්
බලු පැටවකු පොළොවේ ගසා මරා දමන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ කාන්තාවක්

මීගමුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මුන්නක්කරය සිරිවර්ධන පෙදෙස පදිංචිකාරියකි.

පැමිණිලිකාර පාර්ශ්වය සැකකාරියගේ නිවෙස අසලම පදිංචි තරුණ යුවළකි. ඔවුනට අතදරුවෙක් සිටී.
 දෙපාර්ශ්වයම ඇතැම් දිනවල කලහකාරී ලෙස හැසිරෙන බව පොලිසියට වාර්තා වී තිබිණි.


පැමිණිලිකාර පාර්ශ්වය තම අත දරුවාගේ වින්දනය සඳහා රු.20,000කට “රිච්බෑග්” වර්ගයේ බලු
පැටියකු ගෙන සුරතලයට ඇති කරමින් සිට ඇත. මෙම බලු සුරතලා සැකකාර කාන්තාවගේ නිවෙස තුළට
දුවගොස් මුළුතැන්ගෙට යෑම නිසා කෝපයට පත් සැකකාර කාන්තාව බලුපැටියා උස්සා පොළොවේ ගසා ඇති
බව කියයි.

බලුපැටියාගේ ඇස් රතු වී ලේ වහනය වී එම ස්ථානයේදීම මියගොස් සිටි බව පොලිසිය කියයි.

සැකකාර කාන්තාව අත්අඩංගුවට ගන්නා විට ඇය මත්පැන් භාවිත කර සිටි බවද පොලිසිය කියයි.

මීගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් ප්‍රේමකුමාර(52282),  සහ කාන්තා පොලිස්
කොස්තාපල්  සංජීවනි (6792), සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකාරිය අධිකරණයට ඉදිරිපත්
කිරීමට නියමිතය.
මීගමුව - නිමන්ති ප්‍රනාන්දු