ඉදිරි යල කන්නයේ සිට වී සහ අනෙකුත් බෝග වගාවන් සඳහා  නොමිලේ කාබනික පොහොර දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ
හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (20) පැවසීය.

පරිසර හිතකාමී පොහොර භාවිතය සඳහා ගොවීන් දිරිගැන්වීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් ප්‍රදේශ කිහිපයක ගොවීන්ට අවම වශයෙන් කන්න 4ක් සඳහා මෙලෙස සම්පූර්ණයෙන්ම කාබනික පොහොර හෝ රසායනික පොහොර අනුපාතයක් සමඟ හෝ නොමිලේ ලබාදීමට තීරණය කෙරුණු බව කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුභසාධන අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීවේය.

ඉන් ලැබෙන ප්‍රතිඵල මත වී ගොවිතැන ඇතුළු අනෙකුත් ගොවිතැන් කටයුතු වස විසෙන් තොර ගොවිතැනක් බවට පත්කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බව ද අමාත්‍යවරයා කීවේය.

අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (20) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
(ඩයනා උදයංගනී)