මහෙස්ත්‍රාත් නියෝගයකින් මිස විනිසුරු පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කිරීමට නීතිපතිවරයාට නෛතික බලයක් හෝ වෙනත් කුමන හෝ පදනමක් නොමැති බව ප්‍රකාශ කරමින්
ගොනු කොට තිබූ ‘රිට්’ පෙත්සම පිළිබඳ මූලික කරුණු විමසීම අවසානයේ අභියාචනාධිකරණය විසින් ඉහත අතුරු නියෝගය නිකුත්ක රනු ලැබීය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් හා විනිසුරු අර්ජුන ඔබේසේකර යන ද්විපුද්ගල
විනිශ්චය මණ්ඩලය හමුවේ ඉහත රිට් පෙත්සම විමසුමට ලක්විය.

ජේ‍යෂ්ඨ නීතිඥ සනත් විජේවර්ධන මහතා මඟින් මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින්
අභියාචනාධිකරණය හමුවේ ගොනුකරනු ලැබ ඇති එම පෙත්සම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද
සිල්වා, ජනාධිපති නීතිඥ එම්.යූ.එච්. අලිසබ්රි යන මහත්වරුන් ජේ‍යෂ්ඨ නීතිඥ සුගත් කල්දේරා, නීතිඥ
රුවන්ත කුරේ හා නිරාන් ඇන්කටෙල් සමඟ පෙත්සම් පාර්ශ්වය වෙනුවෙන් ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ
කරුණු දැක්වීය.

ඊට අමතරව පෙත්සම් පාර්ශ්වයට පක්ෂව ශ්‍රී  ලංකා නීතිඥ සංගමයද මැදිහත් වෙමින් මෝසමක් මඟින්
ඉදිරිපත්ව ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතාද කරුණු දැක්වීය.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා දිගින් දිගටම කරුණු දක්වමින් තහවුරු කර සිටියේ නීතිපතිවරයා සිය
බලසීමාවන් අතික්‍රමණය කරමින් තම සේවාදායකයා වන විනිසුරු පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස
වැඩබලන පොලිස්පති (පළමු වැනි වගඋත්තරකාර) වරයාට ලිඛිතවම නියම කරමින් නියෝගයක් නිකුත් කිරීමටත්
එදිනම එම පියවර ගන්නා ලෙසටද එමඟින් අවධාරණය කිරීමටත් ක්‍රියාකොට ඇති බවත් එලෙස ක්‍රියා
කිරීමට කිසිදු නීති ප්‍රතිපාදනයක් තමාට සැලසී නොමැති බැව් දැන දැනම ඔහු එසේ ක්‍රියා කොට ඇති
බවත්ය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා
කියාසිටියේ නීතිපතිවරයා එලෙස නියෝග කිරීමක් සිදුකොට නොමැති බවත් ඔහු ක්‍රියා කොට ඇත්තේ
පොලිස්පතිවරයා විසින් උක්ත සිද්ධියට අදාළව තමා වෙත උපදෙස් පතා ඉදිරිපත් කරන ලද විමර්ශන ගොනුව
ඉතා හොඳින් පිරික්සා බලා එහි ගම්‍ය වන කරුණු අනුව අවශ්‍ය වන අදාළ නීතිමය පියවරයන් ගන්නා
ලෙසට උපදෙස් දීමක් පමණක් බවත්ය.

තවද ඔහු පවසා ඇත්තේ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙසට මිස අත්අඩංගුවට
ගන්නා ලෙසට නොවන බවද ඔහු කියා සිටියේය.

ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතාද විනිශ්චය මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර සිටියේ නීතිපතිවරයාගේ
ක්‍රියා කලාපය උචිත නොවන බවත් එමෙන්ම නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වන උගත් නීතිපති
දෙපාර්තමේන්තු නිලධාරිවරයාද අධිකරණය හමුවේ හැසිරෙන ආකාරය හා භාවිත කරන වචන මෙන්ම වාග්
විලාසයද කිසිලෙසකිනුත් මෙවැනි උත්තරීතර අධිකරණයකට නොගැළපෙන බවත්ය.

තවද නීති උපදෙස් ලබාදීම මිස නීතිය ක්‍රියාත්මක කරවීම හෝ හැසිරවීම නීතිපතිවරයාගේ කාර්යයක් නොව
විනිසුරුවරුන්ගේ කාර්යයක් බවද මුස්තාපා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සභාපති විනිසුරු නවාස් මහතාත් විනිසුරු ඔබේසේකර මහතාත් නීතිපති නියෝජනය වූ මිලින්ද ගුණතිලක
මහතාගෙන් විමසා සිටියේ පෙත්සම් පාර්ශ්වය විසින් ඉල්ලා සිටිනුයේ මහෙස්ත්‍රාත් නියෝගයකින් මිසක
පෙත්සම්කාර විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් පමණක්ම බවත් ඊට එරෙහි වීමට කවර
හෝ හේතුවක් තමාට ඉදිරිපත් කළ හැකිද යන්නත්ය.

එයට මිලින්ද ගුණතිලක මහතාගෙන් කිසිදු හේතුවක් ඉදිරිපත් නොවූ අතර ද්විපුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකවම
ඉහත අතුරු නියෝගය නිකුත් කිරීමට ඒ අනුව පියවර ගනු ලැබීය.

පෙත්සම පිළිබඳව වැඩිදුර කරුණු විභාගය මාර්තු මස 12 වැනිදාට නියම විය.

කමල් මහේන්ද්‍ර වීරරත්න