ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තම 'පුංචි ප්‍රචාරක කාඩ්පත්' සඳහා ආක්‍රමණික ශාක භාවිතයෙන් සෑදූ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කඩදාසි භාවිත කිරීමට තමන් තීරණය කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී 11දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පවසා සිටි මන්ත්‍රීවරයා, ආක්‍රමණික ශාක භාවිතයෙන් කඩදාසි නිෂ්පාදනයේ නිරත මධුර නානායක්කාර මහතාද මෙම මාධ්‍ය හමුවට සම්බන්ධ කරගෙන සිටියේය.

එහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා,
“ජනාධිපතිතුමන් ඔහුගේ ජනාධිපතිවරණයේදී පෝස්ටර් නැතුව රටම දිනන්න පුළුවන් කියන එක ඔප්පු කරලා පෙන්නුවා. ඒ නිසා අද පොලිතීන් පෝස්ටර් රතිඤ්ඤා නැති මැතිවරණ ව්‍යාපාර සාමාන්‍ය තත්වයක් බවට පත්වෙලා තියෙනවා.

අපි මේක තවත් පියවරක් ඉදිරියට ගෙන යෑම සඳහා මධුර නානායක්කාර මහතා අපේ මාධ්‍ය හමුව සඳහා සහභාගි කරවා ගත්තා. එතුමා කරන්නේ කඩදාසි නිෂ්පාදනය. පොත්පත්, ආරාධනා පත්‍ර ආදී කඩදාසි පදනම් කරගත් නිර්මාණ ඔවුන් සිදුකරන්නේ. මේ සඳහා ඔවුන් ආක්‍රමණික ශාක භාවිත කරනවා. ඩිලේනියා, ජපන් ජබර, සැලිවීනියා, ගිනි ග්‍රාස්, මිෂන් ග්‍රාස්, වෙල් ආතා වැනි ආක්‍රමණික ශාක අද වනවිට අපට දැවැන්ත ප්‍රශ්නයක් වෙලා. විදේශයකින් අපේ පරිසරයට ඇවිල්ලා පරිසරය තුළ ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන ශාක විශේෂ තමයි මේ ආක්‍රමණික ශාක.

මේ ශාක ශීඝ්‍රයෙන් පැතිර යාම නිසා, අපට ආහාර, ඖෂධ ලබාදෙන ශාක සඳහා ඇති ඉඩකඩ ජලය පොහොර යනාදිය මේ ශාක විසින් අත්පත් කරගෙන තියෙනවා. අපට වැදගත් අපේ ආවේණික ශාක ඒ නිසා වඳ වීමේ තර්ජනයට මුහුණපාලා තියෙනවා. ඒ නිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මගේ පුංචි ප්‍රචාරක කාඩ්පත් සඳහා ප්‍රතිචක්‍රිත කඩදාසි භාවිත කිරීමට මා තීරණය කළා. ඉතින් හැමෝම තමන්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා මේ ආක්‍රමණශීලී ශාකවලින් සෑදුණු මෙවැනි කඩදාසි සිය ප්‍රචාරක කාඩ්පත් සඳහා භාවිත කළහොත් පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වනවිට ලංකාවේ තිබෙන ආක්‍රමණික ශාක ටිකත් ඉවර කරගන්න පුළුවන්.

එමෙන්ම මධුර නානායක්කාර මහතා සිය නිර්මාණ සඳහා කෙසෙල් කඳන් වැනි ඉවතලන කෘෂිකාර්මික අපද්‍රව්‍ය, භාවිත කරන ලද කඩදාසි යනාදියත් යොදාගන්නවා. එමෙන්ම ඔහු නිෂ්පාදනය කරනවා කාඩ්පත් එළවළු බීජ සහිතව.
එවැනි කාඞ්පත් අප මැතිවරණය සඳහා මුද්‍රණය කරගතහොත් එය ළඟ තබා ගන්නා අයට ඡන්දය දින දක්වා අංකය මතක තබා ගැනීමට එය පාවිච්චි කරලා, ඡන්දය දින එය පැළ කිරීම සඳහා යොදාගන්න පුළුවන්.

වස විසෙන් තොර එළවළු පාවිච්චි කරන්නද හැකියාව ලැබෙනවා. කොළඹ හතේ නිවසක හිටියත් ගමේ ගොඩේ හිටියත් පැළ කළ හැකි එළවළු ඇට තමයි මේ කාඩ්පත සඳහා භාවිත කර තියෙන්නේ. මෙය හරහා එක පැත්තකින් ආක්‍රමණික ශාක අප පරිසරයෙන් අයින් කරනවා. අනිත් පැත්තෙන් තමන්ට අවශ්‍ය එළවළු නිෂ්පාදනය කර ගැනීමට ජනතාව පෙලඹෙනවා. එනිසා දේශපාලකයන් කතා කරන තරමටම ජනතාවගේ සෞඛ්‍ය ගැන සංවේදී නම්, දේශපාලකයන් කතා කරන තරමටම පරිසරයට ආදරේනම් මේ ක‍්‍රියාවට එකතු වෙන්න කියලා මා මගේ සහෝදර දේශපාලකයන් සියලු දෙනාට ආරාධනා කරනවා” යනුවෙන් පවසා සිටියේය.

-නිදර්ශනී වික්‍රමසිංහ-