දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර පල්ලියද්ද ප්‍රදේශයේ දී වාහන තුනක් අනතුරට ලක් වී තිබූ අවස්ථාවේදී ඒ අසලින් ගමන් කිරීමට උත්සාහ කළ තවත් වාහන තුනක් ද අනතුරට ලක්වීම හේතුවෙන් එම
මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ බව ගොකරැල්ල පොලිසිය පවසයි.

කුරුණෑගල සිට දඹුල්ල දෙසට යමින් තිබූ ලොරියක් දඹුල්ල සිට කොළඹ දෙසට යමින් තිබූ ටිපර් රථයක් ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ගැටී මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ ගමනාගමනයට සිදු වූ
බාධා ඉවත් කිරීමට ගොකරැල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පැමිණ මාර්ගයේ රථවාහන හසුරවමින් අනතුර පිළිබඳ විමර්ශනය කරමින් සිටියදී මේ අසළින් ධාවනය වූ තවත් ටිපර් රථයක් ඉදිරියෙන් පැමිණි තවත් ටිපර් රථ දෙකක ගැටීමෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී පැයකට ආසන්න කාලයක් ගමනාගමනය ඇන හිටි බව පොලිසිය කියයි. පසුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් දොඹකර හා ආපදා රථ යොදාගෙන මෙම අනතුරට ලක් වූ වාහන මාර්ගයෙන් ඉවත් කර මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බව ගොකරැල්ල පොලිස්ථානයේ පරික්ෂණ මෙහෙයවන උසස් නිලධාරියෙක් පැවසීය.


අන්තරාකාරීව හා අපරික්ෂාකාරීව රිය පැදවීම සම්බන්ධයෙන් ටිපර් රථ රියැදුරන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

-ගලේවෙල - මොහොමඩ් බුහාර්ඩින්-