අතවරයක් නොවුණු කාන්තාවකට අතවරයක් වූ බවට වෛද්‍ය වාර්තාවක් දුන් කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව ගාල්ල පොලිසිය කියයි. ගාල්ල වක්වැල්ල පාරේ දෙපිරිසක් අතර වැට මායිමකට කලක පටන් ආරවුලක් තිබී ඇති අතර 2019 11.12 වැනි දින
අතවරයට ලක්වූ බව කියන කාන්තාව පදිංචි නිවසට යාබදව ඇති වැටේ ඉණි ඉවත්කර කණු ගැසීමට යාමේදී වගඋත්තරකාර පාර්ශ්වය සමග ආරවුලක් සිදුව ඇත. එයට පොලිස් හදිසි ඇමතුම් අංශයට දැන්වීමෙන් පසු පොලිසිය එම ස්ථානයට ගොස් දෙපාර්ශවයම පොලිසියට කැඳවා ආරවුලට සමථයකට පත්කර ඇතයි පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී එහෙත් නැවතත් වැට ඉදිකිරීමට යාමේදී දෙපාර්ශවය අතර ආරවුලක් හටගෙන ඇත.

එම අවස්ථාවේ වගඋත්තරකාර පාර්ශවයේ සහෝදරයින් දෙදෙනකු ද ඔවුගෙන් එක් අයෙකුගේ බිරිය සහ නැගණිය ද පැමිණි බවටත් බිරිය සහ නැගණිය සිටියදී සැකකරු තමාට අතවර කළ බවටත් එම අවස්ථාවේ සැමියා සහ ඥාතියෙකු නිවස තුළ සිටියත් ඔවුනට පිටතට ඒමට නොහැකි ලෙස තවත් දෙදෙනකු දොර තදකරගෙන සිටි බවටත් පසුව වෙනත් කාන්තාවක් පැමිණ එය නතර කළ බවටත් පවසා ඇය එදින කරාපිටිය රෝහලට ඇතුළත්වය ප්‍රතිකාර ලබා ඇති බව පොලිසිය කියයි. මෙම සිද්ධිය වාර්තවූ වහාම පොලිසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වා ඇති අතර කොට්ඨාස අපරාධ පරික්ෂණාගාරයට ද ගොස් විද්‍යාත්මක සාක්කි එක්රැස් කළත් එවැති අතවරයක් සිදුව ඇති බවට අනාවරණය වී නොමැති බව පොලිසිය කීය.

මේ අතර වින්දිත පැමිණිලිකාර කාන්තාව කරාපිටිය රෝහලට ඇතුළත්ව ඇති නමුත් අතවරයක් සිදුව ඇති බවට බාහිර රෝගී අංශයට දැනුම්දී නොමැති බවත් පසුව ඇය සිද්ධියෙන් දින අටකට පසුව පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් පොලිසිය පවසයි.ඒ අනුව තවදුරටත් කරන ලද පොලිස් පරීක්ෂණවලදී පිරිසක් මැද කාන්තාවකට අතවර කිරීමේ චේතනාවක් පහළවීම ද තමාගේ බිරිය සහ සහෝදරියක් ඉදිරියේ ශිෂ්ට සම්පන්න සමාජයක එවැන්නක් සිදුවිය නොහැකි බවට ද අනාවරණයවී ඇත.

අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු කාන්තාවක් පරික්ෂා කරන්නේ නම් පොලිස් නිලධාරිනියක් හෝ පවුලේ ඥාතියෙකු ඉදිරියේ කළයුතු වුවත් කරාපිටිය රෝහලේ මෙම සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇය පරීක්ෂා කළ බවටත් ඇයට අතවරයක් සිදුව ඇති බවටත් වාර්තාවක් ලබා දී ඇති අතර, එසේ පරික්ෂා කර ඇත්තේ රාජකාරි වේලාවෙන් බැහැරව බවත් පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත. සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිසිය අතිරේක මහේස්ත්‍රාත්වරියගෙන් නියෝගයක් ද ලබා ගෙන ඇත.

-ඩී.ජී. සුගතපාල-