කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් නිවැරැදි ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා එළඹෙන මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කරන මෙන් තමන් ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටින බව
පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරියෝ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළහ.

දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මන්ත්‍රීවරියන් 12 දෙනෙක් පමණක් බවත් එය පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 5%ක් පමණක් බවත් මේ හේතු නිසාම විශේෂයෙන් කාන්තාවන් හා දරුවන් සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී එය බාධාවක් වූ බවත් මෙහිදී ප්‍රකාශ විය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කළේ පළාත් පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තු නියෝජනය සඳහා 25%ක කාන්තා නියෝජනයක් දිනාගැනීමට සමත් වුවද එම ප්‍රතිශතය පාර්ලිමේන්තු මැතිවරණයකදී පක්ෂ අපේක්ෂක ලැයිස්තුවලින් හිමි නොවන නිසා පක්ෂ නායකයන් වැඩි කාත්තා අපේක්ෂිකාවන් පිරිසක් මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවලට ඇතුළත් කර ගැනීමට අවධානය යොමු කළ යුතු බවයි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුසිතා විජේමාන්න මහත්මිය සඳහන් කළේ ලංකාව තුළ අවම විවාහ වයස අවුරුදු 18 බවට පත් කිරීම, ළමා විවාහ වැළැක්වීම, උප්පැන්න සහතිකයේ මවුපියන් විවාහකද යන තීරය ඉවත් කිරීම, දේපළ පැවරීමේදී දියණියන් නොසලකා හැරීම වැළැක්වීම ආදී යෝජනා රැසක් පාර්ලිමේත්තුවට ඉදිරිපත්කිරීමට කාන්තා මන්ත්‍රීවරියන්ට හැකි වූ බවයි.

විශේෂයෙන් පසුගිය ජනවාරි මුල් සති දෙක තුළ පමණක් රට තුළ ස්ත්‍රී දූෂණ 142ක්, බරපතළ ලිංගික අපයෝජන 42ක්, ළමා අපයෝජන 54ක් වාර්තා වී තිබේ. මේ නිසා කාන්තාවන් හා ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පවතින නීති සංශෝධනය කොට නව නීති හඳුන්වාදීම ඉතා වැදගත් වන බව මන්ත්‍රිවරියෝ පෙන්වා දුන්හ.

මේ නිසා දේශපාලනයේ දී කාන්තාවන්ට නිසි තැන නොලැබීම, කාත්තාවන් අවර ගණයෙහිලා සැලකීම මෙන්ම කෙතරම් අධ්‍යාපනයෙන් ඉහළට පැමිණියද ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී කාත්තා දායකත්වය අවම බවත් මේ නිසා පොදුවේ එක් දිස්ත්‍රික්කයකින් එක් මන්ත්‍රිවරියක්වත් තේරී පත්වන අයුරින් හෝ කාන්තා නියෝජනයක් ඊළඟ මැතිවරණය සඳහා ලබා දෙන ලෙස මන්ත්‍රිවරියෝ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

මෙම අවස්ථාවට සුමේධා ජී. ජයසේන, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, වෛද්‍ය තුසිතා විජේමාන්න, ශ්‍රියානි විජේවික්‍රම, රෝහිණී කුමාරි විජේරත්න, විජේකලා මහේෂ්වරන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරියෝ සහභාගි වූහ.

-ජේ.ටී.ද සිල්වා-