බුලත් කොරටුවක වැඩ කරමින් සිටියදී මී ගවයකු එළවා යාම නිසා තුවාල ලැබූ කාන්තාවක සහ ඇයගේ දියණිය රෝහලට ගෙන යෑමට ඉදිරිපත් වූ ලොරි රථ රියැදුරකු වූ 44 හැවිරිදි දෙදරු පියකු එම මී ගවයා ඇනීමෙන් මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් වැල්ලව
පොලිස් වසමේ කැකුලාවල ප‍්‍රදේශයේ වාර්තා විය. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කැකුලාවල ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියකු වන පී. ඒ. ප්‍රියන්ත රුවන් කුමාර නැමැත්තෙකි.


මී ගවයාගේ පහර කෑමෙන් බේරිමට මව සහ දියණිය අසල තිබූ පාළු නිවසකට ඇතුළු වී දොර වසා ගත්තද මි ගවයා නිවසේ දොරට පහරදී ඇතැයි පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. තුවාල ලබා සිටි මව සහ දියණිය රෝහලට ගෙන යෑමට අසල්වැසියන් උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන් රැගෙන යෑමට පැමිණි කුඩා ලොරි රථයේ රියැදුරුට ද මී ගවයා ඇන ඇති බව පොලිසිය පවසයි. රියැදුරු මී ගවයා දැදුරු ඔය ජලාශය දෙසට පන්නා  දැමීමට ගිය අවස්ථාවේදී අසල්වාසීන් මව සහ දියණිය ලොරියට නංවා ඇතත් රියැදුරු නොපැමිණීම නිසා සොයා බැලීමේදී ඔහු මී ගවයාගේ පහර කෑමට ලක්ව බුලත් කොරටුවේම වැටී සිට ඇතැයි ද අනතුරුව ඔවුන් තිදෙනාම රෝහල් ගත කර ඇතැයි ද පොලිසිය කියයි.

මී ගව ප්‍රහාරයට ලක්වූ රියැදුරා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කරන විටද මියගොස් සිට ඇති අතර මිගව ප්‍රහාරයෙන් තුවාල ලැබූ මව සහ දියණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.  මෙම මී ගවයා මීට පෙරද කීප දෙනකුට පරදීමට උත්සහ කර ඇති අතර ඇද වැටුණු එක් අයකුගේ අතක් බිඳී ඇති බවද සතුන් ඇති කිරිම පිළිබඳව කිසිදු විද්‍යාත්මක දැනීමක්  හෝ පළපුරුද්දක් නැති ගවයාගේ හිමිකරු මෙම මී ගවයා සුරතලයට මෙන් නිවස තුළම හදාවඩා ගෙන ඇති බවද අනාවරණය වී ඇත.

තනිව හැදී වැඩුණු තරුණ මී ගවයාට කිසිම දිනක  වෙනත් මී ගවයන් සමග රංචුවක ජීවත් වීමට ඉඩ ලැබී

නොමැති අතර ගව හිමියා දිගේලි කරණ කඹය කඩාගෙන අවස්ථා ගණනාවකදී ගම්වැදී ඇති බවද එවැනි අවස්ථාවලදී ප්‍රදේශවාසීන් බියෙන් පසු වූ බවද දරුවන් පවා පාසල් නොගොස් නිවෙස් තුළටම වී සිටි බවද ප්‍රදේශවාසීන්ගෙන් හෙළිවී තිබේ. මෙම මරණකරුට මී ගවයා වඩාත් හීලෑ බවත් කඹය කඩාගත් බොහෝ අවස්ථාවල හිමිකරු නොමැති නම් මී ගවයා දිගේලි කර ඇත්තේ මෙම මරණකරු බවද ප්‍රදේශවාසීන් පැවසූ බව පොලිසිය කියයි.

මෙම මී ගවයා ඉපදුණු අවස්ථාවේ මවු වැස්සිය මියගොස් ඇත්තේ ගවයගේ හිමිකරු ගවයන් ගස් බැඳ දුරබැහැර ගමනක් ගොස් සිටි අවස්ථාවේ බවද ආහාර සහ ජලයට නොමැතිකමින් දින ගණනාවක් නිරාහාරව සිට ගවයන් පස් දෙනකු මියගොස් සිටි බවද ගැබ්බර මිදෙන මිය යාමට පෙර පැටියා ප්‍රසූත්‍ර කර ඇති බවද අනාවරණය වී ඇත. මෙම ගවයන්ගේ හිමිකරු පැමිණ දිනක් වයසැති මී ගව පැටියා නිවස තුළම තබාගෙන පිටිකිරි වර්ග බීමට දෙමින් හදාවඩාගෙන ඇති අතර ගව හිමිකරු ඔහුගේ සමීපතම හිතවතා ලෙස මෙම මී ගවයා සමග දැඩි ආදරයකින් ජීවත් වී ඇති බවද අනාවරණය වී තිබේ. සිද්ධිය පිළිබඳව වැල්ලව පොලිසිය පරික්ෂණ සිදු කරයි.

-ප්‍රියානි මංගලිකා-