චිනයේ හුබෙයි පළාතේ, වූහාන්  නුවර මාරක වයිරසයක් පැතිර  යන බව පළමුවෙන් ලොවට  අනතුරු ඇගවූ චින මාධ්‍යවේදීන් දෙදෙනාගෙන් කෙනකු අතුරුදන්  වී ඇතැයි චීන මාධ්‍ය ඊයේ (10) වාර්තා කළේය.  සමාජ
මාධ්‍ය යොදා ගනිමින් නව වයිරසය ගැන ලොවටම  පළමුවෙන් අනාවරණය කළේ චෙන් කියුෂි සහ පැෆ්ග් බින් දෙදෙනාය. මොවුන් දෙදෙනා වූහාන් නුවර පුරවැසි මාධ්‍යවේදීන්ය. අතුරුදන් බව පැවැසෙන්නේ චෙන් කියුෂි ය.

වයිරසය සම්බන්ධයෙන් පළමුවෙන්ම වූහාන් වැසියන්ටත්,
වූහාන් නුවර පිහිටි හුබෙයි පළාතේ  සෞඛ්‍ය බලධාරීන්ටත් අනතුරු ඇඟවූයේ අක්ෂි වෛද්‍යවරයෙකි. ඔහු ලී වෙංලියැං ය. පසුගිය 7  වැනිදා වෛද්‍ය ලී වෙංලියැ මියගියේය. ඒ, ඔහුට ද වයිරසය ආසාදනය වීමෙනි. වෛද්‍ය ලී  වෙංලියැං, වයිරසය ගැන පළමුවෙන් අනතුරු ඇගවූයේ පසුගිය දෙසැම්බර් මාසයේය. ඒ වනවිට එය වූහාන් නුවර පැතිරෙන්න පටන් ගෙන නොතිබුණි.

කෙසේ නමුත් බලධාරින් ඔහුට කන් නොදුන් අතර, ජනතාව බොරුවට බය කරනවා යැයි චෝදනා එල්ල විය. චෙන් කියුෂි සහ පැෆ්ග් බින් පුරවැසි මාධ්‍යවේදීන් දෙදෙනා වූහාන් වයිරසය සම්බන්ධයෙන් තොරතුරු විදෙස් මාධ්‍යවලට ලබා දුන්නේ වෛද්‍ය ලී වෙංලියැං, කළ අනතුරු ඇගවීම් සැළකිල්ලට ගනිමිනි.