කොළඹ හා යාපනය අතර සිවිල් ගුවන් ගමන් කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බවත් එහි පළමු පියවර පෙරේදා (1) ආරම්භ කළ බවත් කාර්මික, අපනයන ආයෝජන ප්‍රවර්ධන හා ගුවන්සේවා අමාත්‍යාංශය
පවසයි.මේ අනුව පෙරේදා (1) රත්මලාන ගුවන්තොටුපළෙන් උදෑසන 4R-EXN නමැති ගුවන් යානයෙන් යාපනය පලාලි ගුවන් තොටුපළ දක්වා මගීන් රැගෙන ගුවන් ගමන් කටයුතු සිදු වූ අතර අනතුරුව නැවත යාපනයේ සිට කොළඹ දක්වාද ගුවන් ගමන් කටයුතු සිදුවිය.

මීට පෙර පලාලි සිට 
ඉන්දියාවේ චෙන්නායි දක්වා ගුවන්ගමන් කටයුතු ආරම්භ  වූ අතර ඊට සමගාමීව අභ්‍යන්තර ගුවන්හමන් කටයුතුද ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.  කොළඹ සිට යාපනය දක්වාත් යාපනය සිට කොළඹ දක්වාත් මගියෙකුට එක් ගමන් වාරයකට රුපියල් 7500 බැගින් රුපියල් 15,000  මුදලක් වැය කෙරෙන අතර මීට පෙර (යුද්දයට පෙර) අදාළ ගමන් වාරයන්ට රුපියල් 33,000 ක මුදලක් මගියෙකුගෙන් අය කෙරී ඇත. සාම ගිවිසුම් සමයේදී යාපනය හා කොළඹ අතර අභ්‍යන්තර ගුවන් ගමන් සිදුකෙරුණු අතර යුද සමයේදී කොටි සාමාජිකයින් විසින් සිවිල් ගුවන්යානා වෙතට ප්‍රහාර එල්ල කිරිමත් සමග අභ්‍යන්තර ගුවන්ගමන් කටයුතු සියල්ලක්ම සම්පූර්ණයෙන් නැවතුණි.

-රොමේෂ් මධුසංඛ-