https://www.gossiplankanews.com/2020/02/boralesgamuwa-cloth-shop.html
බොරලැස්ගමුව හන්දියේ පිහිටි ඇඳුම් වෙළෙඳ සලකින් නිමි ඇඳුම් තොගයක් සොරාගෙන එහි හිමිකාරියට මුගුරකින් පහරදී තුවාල සිදුකොට පලා යෑමට තැත්කළ මවක සහ දියණියක 10දා අත්අඩංගුවට ගත් බව
බොරලැස්ගමුව පොලිසිය පවසයි. පහරකෑමෙන් තුවාල ලැබූ රෙදි අලෙවිසල් හිමිකාරිය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇයගේ‍ පාදයකට හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්ගස්ඕවිට හල්පිට පදිංචි 35 හැවිරිදි කාන්තාවක හා ඇයගේ 15 හැවිරිදි දියණියයි. පෙරේදා (10දා) දහවල් අදාළ කාන්තාව සහ දියණිය යතුරුපැදියකින් මෙම අලෙවි සලට පැමිණ ඇති අතර, රෙදි මිලදී ගන්නා මුවාවෙන් මද වේලාවක් එහි රැඳී සිට එක්වරම පලායෑමට තැත්කර ඇති බව පොලිසිය පවසයි.

අලෙවි සල්

සේවිකාවක් ඔවුන්ට ලුහුබැඳ ගොස් අදාළ කාන්තාව දියණියද සමග අලෙවි සල තුළට රැගෙන විත් ඔවුන්අත තිබූ බෑගය පරීක්ෂා කිරීමේදී ඒ තුළ සොරාගත් රෙදි තොගයක් හමුවී ඇති බවට පැවසේ. මේ සම්බන්ධයෙන් අලෙවිසැල් හිමිකාරිය සමග බහින්බස්වූ සැකක්කාර කාන්තාව පලා යාමට තැත්කිරීමේදී ඇය සමග පොරබදා රඳවා ගැනීමට ගිය අවස්ථාවේදී අලෙවිසල තුළ තිබූ මුගුරකින් මෙම ප්‍රභාරය එල්ල කර ඇති බව පොලීසිය පවසයි.

එම අවස්ථාවේදී කුපිත වූ සැකකාර කාන්තාව අලෙවිසල තුළ වූ වීදුරු රාක්ක කිහිපයකටද පහරදී රූපලාවණ්‍ය භාණ්ඩ තොගයකටද හානි සිදුකර ඇති බවට පැවසේ. පසුව මේ පිළිබඳව පොලීසියට දැනුම්දීමත් සමග පොලිස් නිලධාරීන් පැමිණ එම කාන්තාව සහ දියණිය අත්අඩංගුවට ගත්බවට පැවසේ. පසුව ප්‍රකාශයක් සටහන්කරගෙන සැකකාර කාන්තාවගේ 15 හැවිරිදි දියණියව නිදහස්කළ බවද පොලීසිය පවසයි. සිද්ධියෙන් අදාළ අලෙවිසලට රුපියල් ලක්ෂයක පමණ අලාභයක් සිදුව ඇති බවද පැවසේ.

සැකකාර කාන්තාව නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්තකාන් වීරසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ගම්ලත්, පොලිස් කොස්තාපල් වනසිංහ ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර