ඉකුත් ආණ්ඩු පාලන කාලයේ අනූෂා ගෝකුල​ ප්‍රනාන්දුගේ වැඩබලන සභාපතිත්වය යටතේ ජාතික චිත්‍රපට සංස්ථාවේ සිදුව ඇතැයි පැවසෙන දූෂණ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති විශේෂ විමර්ශන
කොමිසමක් පත් කරන ලෙස සංස්ථාවේ වෘත්තීය සමිති අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇත.

විෂය භාර අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් වෘත්තීය සමිති අදාළ යුගයේ සිදුවූ දූෂණ හා අක්‍රමිකතා රැසක් පිළිබඳ චෝදනා ඉදිරිපත් කර තිබේ.


එම ලිපියෙන් මූලිකවම චෝදනා කර ඇත්තේ එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාසගේ පෞද්ගලික රුචිකත්වය මත පමණක්ම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වැඩබලන සභාපතිවරිය ලෙස අනූෂා ගෝකුල ප්‍රනාන්දු පත් කරන ලද බවයි. එලෙස සේවයේ පිහිටවූ සභාපතිනිය මුදල් රෙගුලාසි, ආයතන සංග්‍රහ, බඳවා ගැනීමේ ක්‍රමවේදයන් සහ මැතිවරණ නීති උල්ලංඝනය වන පරිදි කටයුතු කළ බව පවසන වෘත්තීය සමිති ඒ බව තහවුරු කිරීම සඳහා චෝදනා රැසක් ගොනුකර ඇත.

එම චෝදනාවන්ට අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ විවිධ සංවර්ධන කටයුතු සඳහා ඇස්තමේන්තු ගත නොවී ගිවිසුම්වලින් තොරව කටයුතු කිරීම, පසුගිය ජනාධිපතිවරණය සමයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) තනතුර සඳහා නීතිවිරෝධී සම්මුඛ සාකච්ඡා පවත්වා වර්තමානයේ වැඩබලන සාමාන්‍යධිකාරිවරයාගේ ඥාතියකු බඳවා ගැනීම, නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් නොතකා ඊ.ඒ.පී. සමාගමට විදේශීය චිත්‍රපට ආනයනය කිරීමේ බලපත්‍ර ලබාදීම ඇතුළු වංචනික ක්‍රියා රැසක් අදාළ කාලය තුළ සිදුව ඇතැයි කියයි.

ඊට අමතරව දේශීය චිත්‍රපට ප්‍රදර්ශන අධෛර්යමත් වන පරිදි විදේශීය චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවක් ආනයනය කිරීම සහ දේශීය සිනමා ශිල්පීන්ගේ සංවිධානයේ සාමාජික ශිල්පීන් විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා සිටි අයැදුම්පත් ලැබී පැයක් ඇතුළත අදාළ නිලධාරීන් මාරු කිරීම යනාදී චෝදනාද වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇත.
නයන තරංග ගමගේ