මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ අවිශ්ක තරිදු ඊයේ (18) සමත් වුණා. ඒ වයස අවුරුදු 19න් පහළ පළමු පෙල පාසල්
ක්‍රිකට් තරගාවලියේදී කොළඹ ලූම්බිණි විද්‍යාලයට එරෙහිව ලකුණු 350ක් රැස් කරමින්. පන්දු 285කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 56 ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වුණා.

අවිශ්ක තරිදුගේ මෙම සුපිරි ඉනිම වාර්තා වූයේ මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු ඉනිමක ලකුණු 300 සීමාව පසු කළ 3 වන අවස්ථාව ලෙසටයි. 1996 වසරේදී මීගමුව මාරිස්ටෙලා විදුහල නියෝජනය කළ ධම්මික වාස් ගුණවර්ධන මීගමුව ශාන්ත පීතර විද්‍යාලයට එරෙහිව ලකුණු 310 ක් රැස්කරමින් මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවා. ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ මෙරට පළමු පාසල් ක්‍රීඩකයා වූයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ද නියෝජනය කළ ඉන්දික ද සේරම්.

ඔහු 1993 වසරේදී මාතර ශාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් ලකුණු 304ක් රැස් කිරීමට සමත් වුණා. ඒ අම්බලන්ගොඩ දේවානන්ද විදුහලට එරෙහිවයි. ලකුණු 350ක් රැස් කරමින් නව පාසල් ක්‍රිකට් වාර්තාවක් තැබූ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ අවිශ්ක තරිදු අවසන් කඩුල්ල ලෙස දැවී ගියේ සිය කණ්ඩායමේ ලකුණු පුවරුව 514ක්ව තිබියදීයි.

ලූම්බිණි විද්‍යාලයීය පන්දු යවන්නන්ට හිසරදයක් වූ මෙම පිතිකරුවා දවාලීමට ලූම්බිණි ක්‍රීඩකයින් මන්කාඞ් ක්‍රමය යොදා ගැනීම ද කැපි පෙනුනා. දෙවැනි ඉනිමේදී ද අවිශ්ක තරිඳු ලුම්බිණි විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුනු 79ක් රැස් කිරීම විශේෂත්වයක්.