මේ දිනවල අයදුම්පත් කැඳවා තිබෙන රැකියා විරහිත උපාධිධාරීන් 50000 ක් රාජ්‍ය සේවයට බඳවාගැනීමේ වැඩසටහනට අදාළව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය නිකුත් තර ඇති නිවේදනයක් පහතින්.
-----------------
රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙලට අදාළව මේ වන විට අයදුම්පත් භාර ගැනීම ආරම්භ
කර ඇත. 2020 පෙබරවාරි 07 සිට 14 දක්වා දින 07 ක වැනි ඉතා සීමිත හා කෙටි කාලසීමාවක් යටතේ අයදුම්පත් කැඳවුව ද වයස් සීමාව ඇතුළු කොන්දේසි කීපයක් මගින් විශාල උපාධිධාරී පිරිසකට අසාධාරණයක් සිදුව ඇත.

2018 වර්ෂයේ රැකියා විරහිත උපාධිධාරීන් 5000 කට ආසන්න ප‍්‍රමාණයක් බඳවා ගැනීමේ දී 2013 හා 2014 වර්ෂවල විශ්ව විද්‍යාලවලින් පිට වූ අභ්‍යන්තර උපාධිධාරීන් පමණක් බඳවා ගැනීමට එවකට ආණ්ඩුව තීරණය කරන ලදි. රජයේ එම අත්තනෝමතික තීරණයට එරෙහිව අප විශාල අරගලයක් සිදු කළ අතර පසුව 2019 වර්ෂයේ සිදු කළ බඳවාගැනීම් වල දී බාහිර අභ්‍යන්තර භේදයකින් තොරව උපාධිධාරීන් තෝරා ගැනීම සිදු කරන ලදි. නමුත් 2013/2014 බාහිර උපාධිධාරීන් 2018 වර්ෂයේ දී ආණ්ඩුව බඳවා නොගත් නිසා එම උපාධිධාරීන්ගේ වයස් සීමාව 35 ඉක්මවීම හේතුවෙන් 2020 බඳවාගැනීමේ දී පවතින වයස් සීමා කොන්දේසිය අනුව අයදුම් කිරීමේ අවස්ථාව පවා ඔවුනට මේ වන විට අහිමි වී ඇත.


2020 රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමේ දී අයදුම් කළ හැකි උපරිම වයස් සීමාව 35 ඉක්ම වූ රැකියා විරහිත උපාධිධාරී සැමට අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව හා ඔවුනට රැකියාවක් ලබා ගැනීමේ අයිතිය තහවුරු කරන ලෙසත්,
2020ට පෙර වර්ෂවල කුමන හෝ රැකියාවක් කිරීම උපාධිධාරියෙකු ලෙස උපාධියට සුදුසු රැකියාවක් කිරීමට රාජ්‍ය සේවයට එක් වීමට තිබෙන අයිතිය අහිමි නොකරන ලෙසත් රජයෙන් ඉල්ලීමට උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය තීරණය කර ඇත.

ඉහත කොන්දේසි නිසා අසාධාරණයට ලක් වන රැකියා විරහිත උපාධිධාරීන් හෙට (සදුදා) පෙ.ව. 10.00ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටට රැස්වන අතර ඉන් අනතුරුව මෙම ගැටළුවට පෙබරවාරි 14 ට පෙර විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් ගරු ජනාධිපතිතුමාට සංදේශයක් භාර දීමටත්, උපාධිධාරීන් බඳවාගැනීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කරන ජනාධිපති ලේකම් කාර්යාලයේ අදාළ බලධාරීන් හමුවීමටත් කටයුතු කිරීමට නියමිතව ඇත.

එම අවස්ථාවන් ආවරණය කිරීම සඳහා පැමිණෙන මෙන්ද, ඒ පිළිබඳව පූර්ව ප‍්‍රචාරක අනුග‍්‍රහයක් ලබා දෙන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
කැඳවුම්කරු